කලට වැසි වසිත්වා – අස්වනු සරු වේවා – ජනතාව තෘප්තිමත් වේවා – පාලකයා ධර්මිෂ්ඨ වේවා ජනපති (VIDEO)

මෙවර මහා සභාවට ඉදිරිපත් කරනු ලබන තිරසර සංවර්ධනය මත පදනම් වූ පශ්චාත් 2015 සඳහා වන සංවර්ධන න්‍යාය පත‍්‍රය සහ ඒ සමග ඉදිරිපත් කරනු ලබන විශ්ව ක‍්‍රියාකාරී සැලැස්මට ශ‍්‍රී ලංකා රජයේ පූර්ණ සහය හිමි වන බව මෙහිදී මම ප‍්‍රකාශ කරමි.ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධනය පිළිබඳ සමුළුව අමතමින් මේ බව කියා සිටියේය.
ඒ අනුව, 21 වැනි සියවස තුළ, ගෝලීය පාරිසරික-සංවේදී නව ශිෂ්ටාචාරයේ පෙරගමන්කරුවකු ලෙස අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා රජය සැදී පැහැදී සිටින බව ලෝක ප‍්‍රජාව ඉදිරියේ ප‍්‍රකාශ කරමි.

තිරසර සංවර්ධනය යනු සමස්ත ලෝකයේම, සාමාජීය සංවර්ධනයේ ද, ආර්ථික සංවර්ධනයේ ද, පරිසර ආරක්‍ෂණයේ ද සමතුලිතභාවය යි. ඒ අනුව, 2030 වසර වන විට මෙම ඉලක්ක පූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකා රජය අපේ්ක්ෂා කරයි.

එහිදී, අපගේ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට ද, දරිද්‍රතාව ප‍්‍රගතිශීලී ලෙස අවම කිරීමට ද සියලූ අකාරයේ අසමානතාවන් පිටු දැකීමට ද සමාජ සාධාරණත්වය හා මානව ආරක්ෂාව සපිරි සමාජයක් බිහි කිරීමට ද අපි කටයුතු කරන්නෙමු.

ඊට සමාන්තරව, ස්වභාවික සම්පත් සුරැුකීම අවධාරණය කරන අතරම, තිරසර පාරිසරික ශක්‍යතාව මත පිහිටා සම්පත් පරිභෝජනය සඳහා වන රාජ්‍ය ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට ද කටයුතු කරන්නෙමු.

මීට අදාළ ප‍්‍රතිපත්තිමය රාමුව, වර්තමාන රජයේ, යහපාලන මූලධර්ම මත පිහිටුවන ලද ආයතනික රාමුවක් තුළ කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරමි. තව ද, එම යහපාලන ප‍්‍රතිපත්තියේ ඉදිරි පියවරක් ලෙස පාරිසරික යහපාලනය සඳහා ද විශේෂ අවධානයක් යොමු කරමි.

මෙම සැලැස්ම කි‍්‍රයාවට නැංවීමේදී රාජ්‍ය අංශය පමණක් නොව, සිවිල් සමාජය සහ ව්‍යාපාරික ප‍්‍රජාව යන සියලූ අංශ සහභාගී කරවා ගැනීමට කටයුතු කරමි.

තිරසර සංවර්ධනය, කිසිදු රටකට තනිව අත් කර ගත නොහැකි ය. එබැවින්, එක්සත් ජාතීන්, කලාපීය සංවිධාන, සහ වෙනත් රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය ද එම සැලසුමට ඇතුළත් වේ.

සභාපතිතුමනි,
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම පිණිස වන දහතුන් වැනි තිරසර සංවර්ධන ඉලක්කයට ශ‍්‍රී ලංකාවේ පූර්ණ දායකත්වය හිමි වේ. එහිදී, පාරිසරික බලපෑම්වලට මුහුණ දීමේ දී ඇති විය හැකි අවදානම අවම කිරීමට අපි කටයුතු කරමු. අප රට දැනටම මුහුණ දී සිටින සංවර්ධන අභියෝග වන දිළිඳුකම, ආහාර සුරක්ෂිතතාව, වැඩිවන වැඩිහිටි ජනගහනය, සහ ස්වභාවික විපත් වැනි සාධක, මිහිකත උණුසුම සමග බද්ධ වූ දේශගුණික විපර්යාසය මගින් කොතරම් බැරෑරුම් බවට පත් කරනු ඇත්දැයි විශ්ලේෂණය කිරීමද මේ මොහොතේ පවතින අවශ්‍යතාවක් බව මම විශ්වාස කරමි.

අවසන් වශයෙන්, මා සඳහන් කළ යුත්තේ, ශ‍්‍රී ලංකාව, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ධනය වීම පිණිස ප‍්‍රතිපත්ති සැකසීමේදී දිළිඳුබව පිටු දැකීමත් (එනම්, තිරසර ඉලක්කය 1), ආහාර සුරක්ෂිතතාව අත්කර ගැනීමත් (එනම්, තිරසර ඉලක්කය 2), බලශක්ති පරිභෝජනයත් (එනම්, තිරසර ඉලක්කය 7), අධ්‍යාපනයත් (එනම්, තිරසර ඉලක්කය 4), අදායම් ව්‍යාප්තිය අවම කිරීමත් (එනම්, තිරසර ඉලක්කය 10), නගර සංවර්ධනයත් (එනම්, තිරසර ඉලක්කය 11) කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වේ.

ශ‍්‍රී ලාංකික ජනතාව සතු වසර දෙදහස් පන්සියයකින් එපිටට යන ඉතිහාසය, මෙම ප‍්‍රයත්නයේ දී අප හට අනුප‍්‍රාණය සහ ශක්තිය සපයයි. අපගේ වර්තමාන ව්‍යවස්ථාවටද පූර්විකා වන පැරණි පාලි ආශීර්වාද පාඨයක් සඳහන් කරමින් මාගේ අදහස් දැක්වීම නිමා කිරීමට අදහස් කරමි.

දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතුච
ඵීතො භවතු ලෝකෝච – රාජා භවතු ධම්මිකෝ

ඉන් කියැවෙන්නේ – කලට වැසි වසිත්වා (පාරිසරික සමතුලිතතාව), අස්වනු සරු වේවා (ආර්ථික සමෘද්ධිය), ජනතාව තෘප්තිමත් වේවා සහ පාලකයා ධර්මිෂ්ඨ වේවා (සමාජයේ යහ පැවැත්ම) වශයෙනි. එනම්, මීට ශත වර්ෂ ගණනාවකට පෙර අපේ මුතුන් මිත්තෝ තිරසර සංවර්ධන ත‍්‍රිකෝණය ගැන දැන සිිටියහ. එම සාම්ප‍්‍රදායික දැනුමෙහි සාඩම්බර හිමිකරුවන් ලෙස, ඔවුන්ගේ දැනුමෙහි ආභාසය ලබා, එය අදට ඔබින ලෙස වර්ධනය කර ගනිමින්, ජයග‍්‍රාහී ලෙස 21 වැනි සියවසේ් ඉදිරියට පිය නැගීිමට ශ‍්‍රී ලංකාව සූදානමින් සිටියි.

 

තෙරුවන් සරණයි.
ස්තුතියි.