අයි.ටී.එන්. දැන්වීම් ප්‍රශ්නය සුසිල්ගේ කරපිටට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් ප්‍රකාශයක් පදනම් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ කොමිසන් සභාව කටයුතු කරගෙන යයි.

එම ප්‍රකාශය මෙම සතියේදී ලබාගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනී සේවාව ඔස්සේ විකාශනය කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් මිලියන 115ක මුදල අය කර නොගැනීම සහ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීම් සඳහා රුපියල් මිලියන අසූවක මුදලක් අය කරගෙන දැන්වීම් විකාශය නොකර නැවත එම මුදල එතුමාට ලබාදීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙයි.

මේ වනතෙක් හිටපු ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනමාධ්‍ය මාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත හේරත්, ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති අනුර සිරිවර්ධන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.එම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඉකුත් සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනී සේවාව ඔස්සේ දැන්වීම් පලකිරීමේදී සිදු කර තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ තමන් නොව පක්ෂය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ කොමිෂන් සභාව වෙත ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

‍ලබාදී තිබෙන ප්‍රකාශයේ සඳහන් කරුණුවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් මෙම සතිය තුළදී ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසම ක්‍රියාකරගෙන යන බව ආරංචි මාර්ග පවසයි.

එවකට පක්ෂයේ සභාපති ධුරය හෙබවූයේ කවුද එම තැනැත්තා පක්ෂය සිදු කළ අක්‍රමිකතාවලට වගකිවයුතු නොවන්නේදැයි ප්‍රශ්නයක් පවති.