ආර්ථික සංග්‍රාමය අගමැතිගේ හිසමතට

ග්‍රීසියේ මහමැතිවරණයෙන් බලයේ සිටි වාමාංශික සිරිෂා පක්ෂය නැවතත් ජයග්‍රහණය කළේ තරුණ, වාමවාදී අගමැති ඇලෙක්සි සිප්රාෂ් යළිත් අගමැති ධුරයට පත්කරමිනි. මෑත ඉතිහාසයේ එරට මුහුණදුන් බරපතළම මූල්‍ය හා ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට වෑයම් කරමින් සිටියදී මේ මැතිවරණය පැවැති නිසා ඒ කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබිණි.

ජයග්‍රාහී සිරිෂා පක්ෂය 35.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් පාර්ලිමේන්තුවේ ආසන 300ක් 145 කට හිමිකම් ලැබුවේය. සිරිෂා පක්ෂයේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 28.1% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් දිනාගත් ආසන ගණන 75කි. ඉතිරි ආසන 80 සෙසු පක්ෂ අතර බෙදීගොස් තිබේ. පසුගිය ජනවාරි මාසයේ පැවැති මැතිවරණ ප්‍රතිඵලයට වඩා 1%ක් පමණ සිරිෂා පක්ෂයට ඡන්ද අඩුවී ඇත. මැතිවරණයෙන් තුන්වන තැනට පැමිණියේ අන්ත දක්ෂිණාංශික ගෝල්ඩන් ඩෝන් පක්ෂයයි‍. ලැබූ ආසන ගණන 18 කි. සිරිෂා පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 151 නොලැබුණු බැවින් ස්වාධීන මන්ත්‍රීන් 10කගේ සහාය ඇතිව නව රජය පිහිටවනු ලැබිණි.

ජයග්‍රාහී-සිප්රාෂ්-සිරිෂා පක්ෂයේ නායක

* ජනතා කැමැත්ත

මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹුවන ප්‍රධානම කාරණය ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අගමැති සිප්රාෂ් ගෙන යන අරගලයට ග්‍රීක ජනයාගේ සහායත් අනුමැතියත් ලැබී තිබීමය. මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ඔන්න – මෙන්න කියා තිබියදී, යුරෝ බිලියන 86ක සහන පැකේජය අනුමත කර ගැනීමටද අගමැති සිප්රාෂ්ට හැකිවිය. පසුගියදා පැවැති මහමැතිවරණය 2009 වර්ෂයෙන් පසු එරට පැවැති මුල්පෙළේ සිව්වැනි මැතිවරණය වේ. ඒ අනුව බලනවිට 2019 පෙබරවාරි දක්වා තවත් ප්‍රධාන මැතිවරණයකට එරට මැතිවරණ කැලැන්ඩරයේ දින නියම වී නැත.

සිරිෂා පක්ෂය මැතිවරණයෙන් ජය ලබන බව ජනමත සමීක්ෂණවලින් පැහැදිළි විය. එහෙත්, ප්‍රතිවාදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනසක් සඳහා ග්‍රීක ජනයා යොමු කිරීමේ දැඩි පරිශ්‍රමයක යෙදී තිබිණි. සිරිෂා පක්ෂය ලැබූ ජයග්‍රහණය අපේක්ෂා නොකළ තරම් විශාල ජයග්‍රහණයක් බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. මෙවර මැතිවරණයේදී ප්‍රකාශ වූ ඡන්ද ප්‍රතිශතය 56.6%ක් තරම් අඩුවීමද කැපී පෙනෙන කාරණයකි. එය 1974 දී එරට ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමෙන් පසු පැවැති ප්‍රධාන මැතිවරණයකදී ප්‍රකාශ වූ අඩුම ඡන්ද ප්‍රතිශතය ලෙසද වාර්තා වී තිබේ. 2015 වසර ග්‍රීසියට මැතිවරණ වර්ෂයක් වූයේ ජනවාරි මැතිවරණය, ජූලි ජනමත විචාරණය හා සැප්තැම්බර් මැතිවරණය යන ඡන්ද විමසීම් 3ක්ම මේ වසරට යෙදුණු බැවිනි. ආසන්නයේ මැතිවරණ කිහිපයක්ම පැවැතීම ඡන්ද දායකයන්ගේ උනන්දුව අඩුවීමට බලපෑ ප්‍රධාන සාධකයක් විය හැකි බවට මත පළ වී ඇත.

* සහන පැකේජය

ජූලි මස පැවැති ජනමත විචාරණයේ දී ග්‍රීක ජනයා අගමැති සිප්රාෂ්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අනුමැතිය පළ කළේ යුරෝපා සංගමයේ කොන්දේසිවලට යටනොවිය යුතු බව සනාථ කරමිනි. එම ප්‍රතිඵලය හේතුවෙන් ග්‍රීසියට ඊළඟ සහන පැකේජය නොලැබෙනු ඇතිද යන්න විශාල ලෙස අවධානයට ලක්වූ කාරණයක් වුවද 2018 වසර දක්වා වසර 3ක කාලයකට යුරෝ බිලියන 86ක සහන පැකේජයක් ලබාදීමට අනුමැතිය පළවිය. ග්‍රීක බැංකු සඳහාද යුරෝ බිලියන 25ක සුරැකුමක් ලැබෙනු ඇත. මෙම ආර්ථික සහන පැකේජයට අදාළ ගනු‍දෙනුව පිළිබඳ අගෝස්තු 14 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති සර්ව රාත්‍රික විවාදයෙන් පසු සිරිෂා පක්ෂයේ මන්ත්‍රිවරු 43ක් ඊට පක්ෂ ව ඡන්දය දීමෙන් වැළැකීම හෝ ඊට එරෙහිව ඡන්දය පළ කිරීම කැපී පෙනේ. එහෙත් ප්‍රතිවාදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සහය අගමැති සිප්රාෂ්ට ලැබිණි. ඉකුත් පාර්ලිමේන්තුවේ පාලක පක්ෂයට ආසන 149ක් හිමි විය. ඉන් 43 දෙනෙකු වෙනස් මතයක් දැරීමත් සමඟ අගමැතිවරයා මැතිවණයකට යාමට තීරණය කළේ ජනාධිපති ප්‍රොතොවිස් පැව්ලෝ පවුලස් වෙත සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරමිනි. ඉකුත් ඉරිදා පැවැති ඡායා මැතිවරණය එහි ප්‍රතිඵලයයි. මැතිවරණයකට යාමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ඇතැම් අයගේ විවේචනයට ලක් වුවද ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හා නීතියට එකඟව ක්‍රියා කළ බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිරිෂා පක්ෂය ලැබූ ජය ‘ජනතාවගේ ජයග්‍රහණයක්’ බව අගමැති සිප්රාෂ් ප්‍රකාශ කර තිබේ. මේ ප්‍රතිඵලයත් සමඟ මීට මාස 7කට පෙර තමා ඇරැඹූ අරගලය පෙරට ගෙනයන බවට ඔහු සපථ කර සිටී. සිරිෂා පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා බව පැහැදිළි වනවිට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මැන්ගලිස් මෙයිමරාකිස්, සිප්රාෂ්ට නව රජයක් පිහිටුවීමට හැකියාව ඇති බව පිළිගත්තේය.

ග්‍රීසිය මුහුණ දී සිටින බරපතළ මුල්‍ය හා ආර්ථික අර්බුදය හමුවේ එරට බලයට පත් පස්වැනි අගමැතිවරයා සිප්රාෂ්ය. ඔහු දෙවන වතාවට රාජකාරි අරඹන්නේම එම පළමු අභියෝගය හිසින් දරාගෙනයි. අගමැති සිප්රාෂ් ඉකුත් සඳුදා ධුරයේ දිවුරුම් දී රාජකාරි ඇරැඹුවේ ද තමන්ට දිනා ගැනීමට ඇති පළමු සංග්‍රාමය එය බව පිළිගනිමිනි. කෙසේ වෙතත්, දිවුරුම් දීමෙන් අනතුරුව කළ අදහස් දැක්වීමේ දී ඔහු වැඩි අවධානයක් යොමු කළේ යුරෝපා සංක්‍රමණික අර්බුදය දෙසට බව විචාරකයන් පෙන්වා දී තිබිණි. ඊට හේතුවක් ද තිබේ. දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් යුරෝපයට ළඟා වීමේදී ග්‍රීසිය ද එක් ප්‍රධාන දොරටුවක් වන ස්ථානයකි. එම සියලු දෙනා ගැන ක්‍රියා කිරීමටත් යුරෝපා සංගමයේ නීතිවලට අනුගතවීමටත් තම රටට හැකියාවක් නැති බව ග්‍රීසිය ප්‍රකාශ කර ඇත. සංක්‍රමණික අර්බුදය පිළිබඳ පැවැති යුරෝපා නායක සමුළුවකටද අගමැති සිප්රාෂ් ඉකුත් බදාදා එක්විය. ඉතාලිය සහ හංගේරියාවද ඊට සහභාගි විය. පාලනය කළ නොහැකි තරම් ප්‍රමාණයකින් සංක්‍රමණිකයන් යුරෝපයට ඇතුළු වෙමින් සිටියදී ඔවුන් පිළිගන්නට යුරෝපය ප්‍රමාණවත් පියවර ගෙන නැති බව ග්‍රීක අගමැති සිප්රාෂ්ගේ අදහසයි. එය අවාසනාවන්ත තත්ත්වයක් බවද ඔහු පෙන්වා දී ඇත.

ප්‍රතිවාදී – මැංගලිෂ් – නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක

ආර්ථික අර්බුදය ජයගැනීමේදී ග්‍රීක රජය හමුවේ ඇති පළමු ඉලක්කය බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ඇති කිරීම බව ආර්ථික වි‍ශ්ලේෂකයන්ගේ මතයයි. යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණද සිදු කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් බදු වැඩිකිරීම, වියදම් කපා හැරීම, වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ආදී ආර්ථිකය ගොඩනැඟීමට අදාළව පොරොන්දු ගණනාවක් සිප්රාෂ් ජනතාවට ලබා දුන්නේය. ඇතැම් කාරණා ගැන සිය මැතිවරණ ප්‍රකාශනයේදී ඔහු නිහඬවී ඇති බව ප්‍රතිවාදීන්ගේ මතයයි. කම්කරු ප්‍රතිසංස්කරණ, විශ්‍රාම කප්පාදුව වැනි කාරණා ඊට නිදසුන්ය.

* විශ්වාසය තහවුරු කිරීම

ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ට අනුව ග්‍රීක මැතිවරණයෙන් සිරිෂා පක්ෂය ලැබූ ජය අගමැති සිප්රාෂ්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස සැලකීම වරදක් නැත. ඔහු වටා විශාල දේශපාලන ආධිපත්‍යයක් මේ ප්‍රතිඵලයත් සමඟ ගොඩනැඟී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. ඊට වෙනස් මතයක් දරන අයගේ අදහස ඔහු ඉදිරිපිට ඇති අනාගතය අන්තරාදායක එකක් බවයි. විශ්වාසදායක හා දක්ෂ කැබිනට්ටුවක් ද ඔහුට සිටිය යුතු බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

අගමැති සිප්රාෂ් හමුවේ ඇති භාරදූර වගකීම හා අභියෝගාත්මක කාර්යභාරය ඉටු කිරීමේදී ලැබී ඇති ජනවරම ප්‍රබල පිටුබලයක් වනු ඇති බව නොරහසකි. එහෙත්, ඉදිරිකාල සීමාව තුළ තමාට එය කළ හැකි බවට ජනතාව හමුවේ විශ්වාසය තහවුරු කිරීමටද ඔහුට සිදුවනු නිසැකය. එහිදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීම පළමු කොන්දේසිය වනු ඇත. අභියෝගවලට මුහුණ දීමට තරම් ශක්තියක් හා ධෛර්යයක් තමාට ඇති බව ඔහු මෙතෙක් පෙන්නුම් කර තිබේ. එසේ වුවද ග්‍රීක දේශපාලන ඉතිහාසයේ ඔහුට හිමිතැන තීරණය වනු ඇත්තේ ග්‍රීසිය මුහුණ දී සිටින බරපතළම අර්බුදයෙන් ගොඩඒමට ඔහු සමත්වන ප්‍රමාණය අනුවයි. එය අනාගතයට පැවරෙන කාරණයකි.