කොරල්පරයක කතාව

හික්කඩුව මුහුදු පතුල යට සෞන්දර්යාත්මක අසිරිය විද ගන්න දේශිය විදේශිය සංචාරකයෝ නිරන්තරයෙන් එති යති. ලංකාවේ සංචාරක කර්මාන්තය හා බද්ධවු හික්කඩුව වෙරල තීරය හා කොරල්පර සහිත මුහුදු පතුල පාරිසරික මෙන්ම සංචාරක වශයෙන්ද ද්විත්ව වැදගත්කමක් දරයි.
bb4d321fc1cddc0ec8c0b9dff7204269_L
හිරිගල් සහිත මුහුදු පතුල පාරිසරික හා සෞන්දර්යාත්මක වශයෙන්ද දුර්ලභ පිහිටීමකි. මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම කොරල්පර විනාශයට පත්වීම  අද ගැටළුවක් බවට පත්වී ඇත. එබැවින් හිරිගල් හෙවත් කොරල්පර සහිත මුහුදු පතුල රැක ගැනීමේ වගකීම රජයට පමණක් නොව මෙරට ජනතාවටද ඇත. ‍මෙහිදී පැන නගින සමාජ ආර්ථික හා පාරිසරික ගැටළු පිළිබද සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ ඇති ජාතික උද්‍යාන අතරින් සමුද්‍රීය ජිවීන් සහිත පරිසර පද්ධතියක් නැරඹිය හැකි එකම ජාතික උද්‍යානය හික්කඩුව ජාතික උද්‍යානයයි. හෙක්ටයාර් 101.7 ක භුමි ප්‍රමාණයක විසිරී ඇති මෙම ජාතික උද්‍යානය විවිධ සමුද්‍රිය ශාක විශේෂ වල නිවහනකි . ගණ 31 කට අයත් කොරල්පර විශේෂ 60 ක් හික්කඩුව කොරල්පර ආශ්‍රිත ජාතික උද්‍යානයෙන් වාර්තාවී ඇත.
සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමත් සමගම කොරල්පර වලට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මෙම භුමිය සංරක්ෂණය කිරීමේ අරමුණින් 2002 දී ජාතික උද්‍යානයක් බවට ද පත් කරන ලදී.
හික්කඩුව ජාතික උද්‍යානයේ හිරිගල්පර පිළිබඳවත් මේ වටිනා සම්පත රැක ගැනීම උදෙසා අප කල යුත්තේ කුමක්දැයි ඔබ දැනුවත් කිරීමේ අරමුණින් ඒ පිළිබද තතු සොයා අපි හික්කඩුව වෙරළ තීරයට පැමිණියෙමු.
hi2
මෙහිදී අප දැනුවත් කරන්නට අප හා  එක්වුයේ හික්කඩුව ජාතික උද්‍යාන භාරකාර ආර්.අයි.ගුරුසිංහ මහතායි.  සොභාවික විපත් නිසා මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා ද මොහොතකින් විනාශ වන මේ කොරල්පර නැවත වර්ධනය වන්නේ කෙසේදැයි ඊට කොමපමණ කාලයක් ගතවේද යන්න පිළිබද ව නොදැනීම කොරල්පර විනාශ කිරීමට‍ එක් හේතුවක්.
මේ හිරිගල් කියන්නේ පොලිප් නමින් හදුන්වන කුඩා ජීවීන් සමුහයකගේ සැකිලි වලින් සැදුම් ලද්දක්.  පොලිප් ජීවියා තමාගේ ශරීරයට පිටින් සැකිල්ලක් නිර්මාණය කර ගනිමින් ඒ තුල ජීවත් වීමට පටන් ගන්නවා. මෙය හදුන්වන්නේ කොරල් නමින්.
කොරල්පරයක්  ආරම්භ වන්නේ මේ එක් පොලිප් ජිවියෙකුගෙන්. තද මතුපිටක බද්ධවී ජීවිතය අරඹන මොහු දෙමව්පිය කොරල් ජීවියා ලෙස හදුන්වනවා.  මේ වටා සිටින පොලිප් ජීවින්ද විශාල වශයෙන්දෙමව්පිය පොලිප්ට බද්ධවී කණ්ඩායමක් ලෙස වර්ධනය වන්නට පටන් ගන්නවා. මේ පොලිප්  ජීවීන් මිය ගියද ඌගේ සැකිල්ල ඉතිරිවන අතර එම සැකිල්ල මත තවත් පොලිප් ජීවින් වර්ධනය වෙනවා. මේ ආකාරයට වසර සිය දහස් ගණනක් සිදුවන මේ ක්‍රියාවලිය නිසා ඉතා විශාල ඝනකම සැකිල්ලක් ඇති වෙනවා . මෙය කොරල්පරයක් ලෙස හදුන්වන්න  පුළුවන් යයිද අප දැනුවත්කරමින් ගුරුසිංහ මහතා පැවසීය.
මෙලෙස වසර සිය ගණනක් ගෙවා ඇතිදැඩිවන කොරල්පර මිනිස් ක්‍රියාකාරකම් නිසා සුළු මොහොතකින් විනාශ වීම කෙතරම් කණගාටුදායකද
මෙහිදී මිනිසාගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසා කොරල්පර විනාශ වන ආකාරය පිළිබද අදහස් දැක්වු වන සත්ව නියාමක එස්.රත්නායක මහතා, හික්කඩුවෙහි පිහිනීමට එන අය නිසාත් කොරල්පර විනාශ වෙනවා. පිහිනා යන ඔවුන් කොරල්පර මත හිට ගැනීම නිසා කොරල්පර කඩා වැටෙනවා. ඒ වගේම සංචාරකයන් රැගෙන යන බෝට්ටු එන්ජිම් වලින් පිටවන  අපද්‍රව්‍ය මෙන්ම  බෝට්ටු නතර කිරීමට නැංගුරම් භාවිත කිරීමද කොරල්පර විනාශ වීමට  තවත් එක් හේතුවක් යයිද පැවසීය.
මෙසේ නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසා මෙන්ම මිනිසාගේ ජීවනෝපාය මාර්ගයන් උදෙසාද කොරල්පරයට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇත. හිරිගල් ආශ්‍රයෙන් හුණු ලබා ගැනීම පාරම්පරිකව කරගෙන ආ කර්මාන්තයකි.නමුත් වර්තමානයේ ගොඩනැගිලි ඉදිකිරීම වේගවත් වීම නිසා හුණු ඉල්ලුමද වැඩිවිය.  මේ සඳහා  සැලසුමකින් තොරව කොරල්පර කැඩීම නිසා කොරල්පර අපට අහිමිවුවා පමණක් නොව සුනාමි තත්ත්වයන් වලදී වෙරළ ඛාදනයද සිදු වේ.
hi4
එපමණක් නොව  එහි වසන ධිවර  ජනයාගේ සුබ සිද්ධිය උදෙසා පසුගිය රජය සමයේ අරඔන ලද ධිවර වරායද  කොරල්පර වල විනාශයට අතුරු සාධකයක් වී  ඇති බව එහි සංචාරය කල අපට දැන ගත හැකි විය.  මේ සම්බන්ධයෙන් තම අදහස් දැක්වු  හික්කඩුව ජාතික උද්‍යානයේ බෝට්ටු හිමිකරුවන්ගේ අදහස වුයේ  ධිවර වරාය ඉදිකරන්න පෙර හික්කඩුව මුහුදු තීරයේ කොරල්පර පිරිසිදු කරමින් ගලා ගිය දියවැල් වැල් වල ගමන් මග වෙනස් වෙලා. එම ගලා ගිය දියවැල් වරායේ ආරක්ෂිත බැම්මේ වැදී නැවත එන්නේ  වැලි තට්ටුවක්ද සමගයි. මේ වැලි තට්ටුව  කොරල්පර මත තැන්පත් වීම නිසා  කොරල්පර විනාශ වෙනවා යන්නයි.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් බෝට්ටු හිමිකරුවකුවු  රුවන් බෝපගේ මහතා   එදා අපි දිනකට ගමන්වාර  5-20 ත් අතර ගියා. නමුත් දැන් දිනකට යන්න ලැ‍බෙන්නේ ගමන්වාර 3  ක් විතර තමයි . කොරල්පර විනාශ වීම නිසා හික්කඩුවට එන සංචාරකයන් ප්‍රමාණය අඩුයි. කොරල් නරඹන්න සංචාරකයන් රැගෙන යන බෝට්ටුවල එක් ගමන වාරයක් සදහා දේශීය සංචාරකයන්ගෙන් අයකරන්නේ රුපියල් 900 ක්. විදේශිය සංචාරකයන්ගෙන් රුපියල් 1750 ක් අයකරනවා. නමුත් තැරුව්කරුවන්ගේ මැදිහත්වීම නිසා බෝට්ටුවලට දෙන මුදල මීට වඩා වැඩි වෙලා. එතරම් ලොකු මුදලක් දීල බලන්න දෙයක් නැහැ කියල තමයි සංචාරකයන්ගේ අදහස.  මේ නිසා එක දවසක් බලල ගිය කෙනෙක් ආපසු එන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ .ඒ නිසා මේ වරායේ ගල් බැම්ම කඩා ඉවත් කර කොරල්පර ආරක්ෂා කර දෙන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා යයිද පැවසීය.
hi1
එක් ජන කොටසක් තම ජීවනෝපාය උදෙසා කොරල්පර විනාශ කරද්දී තවත් ජන කොටසක් එම කාර්යය උදෙසාම කොරල්පර රැක ගැනීමට වෙර දැරීම කෙතරම් පුදුම සහගතද.
මෙම ජන කොට්ඨාශයන් සියල්ලටම සාධාරණයක් ඉටු කරමින් කොරල්පර රැකගන්නට  රජයේ මැදිහත් වීම පිළිබදව අදහස් දැක්වු  වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා, මේ වන විට දිවයින පුරා කොරල්පර ඇති ස්ථාන හදුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමටත් හික්කඩුව ජාතික උද්‍යානය තුල කොරල් වගා කිරීමටත් පියවර ගෙන තිබෙනවා. කොරල්පර ආරක්ෂා  කිරීමේ අරමුණින් කොරල්පර විනාශ  කිරීම,  ඒවා ලග තබා ගැනීම, එකතු කිරීම නීතියෙන් තහනම් කර තිබෙනවා.  නමුත් හුණු කර්මාන්තයේ යෙදී සිටින්නන්ට තම ජිවිකාව  කර ගෙන යාම සදහා ගොඩ බිම වැලලී ඇති කොරල්පර  කඩා ගැනීමට පමණක් ඉඩකඩ සලසා දී තිබෙන බවද පැවසීය.
ධිවර වරාය නිසා ඇතිවී ඇති ගැටළු වලට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් රත්නායක මහතා පැවසුයේ ධිවර වරාය ආරක්ෂිත බැම්ම ඉවත් කිරීමෙන් ධිවර වරායට හානි සිදු විය හැකි බවයි . ඒ නිසා මීට තාවකාලික පිළියමක් ලෙස වරින්වර වැලි පොමිප කිරීමට පියවර ගෙන තිබෙන බවත් පැවසීය.
හික්කඩුව කොරල්පරයත් වෙරළ තීරයත් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තවත් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත්  පවසන රත්නායක මහතා,  රුපියල් මිලියන 300 ක වියදමින් වනජීවි කාර්යාලයක් හික්කඩුව වෙරළ තීරයේ ඉදිකරමින් පවතිනවා. මෙම කාර්යාලය ඉදි කිරීමෙන් අනතුරුව ටිකට් නිකුත් කිරීම, ‍බෝට්ටුවල ගමන්වාර ක්‍රමවත්ව සිදුකිරීම වැනි සියළු කටයුතු මෙම වන ජීවී කාර්යාලය මගින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් මේ නිසා  තැරැව්කරැවන්ට මැදිහත්වීමට ලැබෙන අවස්ථාවද වැලකී යන බවද තවදුරටත් පැවසීය
hi3
මෙම කොරල්පර ස්වාභාවික විපත් වලදී රට ආරක්ෂා කරන්නාවු දියකඩනයක් ලෙස ක්‍රියා කරයි. කොරල්පර ආරක්ෂා කිරීම තුලින් ගල්වැටි ඇති කිරිමට යන වියදම අවම කර ගැනීමට හැකි වේ. එසේම  කොරල්පර ඇති කිරිම  සදහා කරනු ලබන ආයෝජනය දිගුකාලීන ආයෝජනයක් වනු ඇතැයිද වනජීවි අධ්‍යක්ෂවරයාගේ අදහසයි.
මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන්නාවුත් හිරිගල් සහිත මුහුදු ප්‍රදේශය හුදු ලාභ ප්‍රයෝජනය සදහාම පමණක් යොදා ගැනීම නිසා එම පර වලට වන හානිය ස්වභාවික විපත් වලින් වන හානියට වඩා අතිමහත්ය. මේ අතරින් මසුන් ඇල්ලීම සදහා ඩිස්කෝ දැල්, මොක්සි දැල් භාවිතය හා ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීම වැනි ක්‍රියාකාරකම් කොරල්පර විනාශ වීමට තවත් ඒක හේතුවක් විය.
කොරල්පර මිනිසාට මානසික තෘප්තියක් ඇති කරවනවා පමණක් නොව විවිධ මත්ස්‍ය වර්ග, ඉස්සන්, පොකිරිස්සන් වැනි ජලජ ජීවින්ට ආහාර හා වාසස්ථාන සපයන වැදගත් පද්ධතියක් වේ. තවත් පසෙකින් මිනිසා‍ට ජිවනෝපාය මාර්ග  සලසා දෙමින්  නිසලව  රට ආරක්ෂා කරන්නාවු ප්‍රාකාරයක් ලෙස ක්‍රියාකරමින් සිටින්නාවු මේ හිරිගල්පර වලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කල යුතුව ඇත. එසේ සිදු නොකලහොත් මේ මහගු සම්පත් මතු පරපුරට අහිමිව යනු ඇත.
අමිතා ප්‍රසන්ති
sinhala.news.lk