ගීතාටත් නොතීසි

geetha-kumarasinghe

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය  ශ්‍රී ලංකා-ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිලාභියකු වන බැවින් එම ධුරයේ කටයුතු කිරිම නීති විරෝධී බවත් එහෙයින් ඇය ධූරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ඡන්දදායකයන් පස්දෙනකු ගොනු කළ පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට ඔක්තෝබර්  19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද(28)නොතීසි නිකුත් කෙළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා සමන්මලි කුමාරසිංහ, ආගමන විගමන පාලක ජනරාල්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසට මෙදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි .

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප්‍රතිපාදන ලබා දී නොමැති බවය. එසේම වගඋත්තරකාර ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියම තමන් ද්විත්ව පුරවැසිලාභියෙක් බවට ඉකුත් වසරේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවය.