ජාතික සංහිඳියාව ඇති කිරීමට මුලින්ම සත්‍ය දැන ගත යුතුයි

පිලිප් ගුණවර්ධන ක්‍රීඩා පිටිය මහජන අයිතියට පත්කිරීමේ උත්සවයට අගමැතිතුමා පැමිණි අයුරු. ඇමැති සාගල රත්නායක, කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සහ එම මහත්මිය ද මෙහි සිටිති. ඡායාරූපය – සමන් ශ්‍රී වෙදගේ

අගමැති කියයි

ජාතික එකමුතුභාවය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා පළමුවෙන්ම සත්‍ය දැන ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එය කිසිවකුට එරෙහිව නඩු පවරා සිදු කළ නොහැකි අතර සත්‍ය දැන ගැනීමට නම් යාන්ත්‍රණයක් ඇති කළ යුතු බව ද එය මෙරට ව්‍යවස්ථාවට අනුකූලව ජනතා පරමාධිපත්‍යයට හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක කෙරෙන බව ද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ හයිඩ් පිටිය නවීකරණය කර යළි ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් ඊයේ (28)හවස පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

සත්‍ය දැන ගැනීමේ යාන්ත්‍රණය සත්‍ය කොමිසම මගින් ක්‍රියාත්මක කෙරෙන බව ද අගමැතිවරයා කීය.

අප රටට එල්ල වී තිබූ ජාත්‍යන්තර යුද අධිකරණ තර්ජනය නැති වී සත්‍යය සහ සංහිඳියාවට ප්‍රමුඛත්වය දෙන දේශීය යන්ත්‍රණයක් ඇති වී අපේ පරමාධිපත්‍ය තහවුරු වී තිබෙන බවත් කී වික්‍රමසිංහ මහතා රජය ප්‍රමුඛත්වය දී ඇත්තේ ජාතික එකමුතුකම ඇති කිරීමට බවද ඒ සඳහා සංහිඳියාව ඇති කළ යුතු බවත් කීය. ඒ සඳහා හැම දෙනාම පිළිගන්නා කරුණ නම් පළමුවෙන්ම සත්‍ය දැන ගත යුතු බව කී අගමැතිවරයා මේ යුද්ධය සිදු වුණේ කෙසේද? මිය ගියේ කවුරුන්ද ? යන කරුණු දැන ගත යුතු බවත් කීය.

එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය. සත්‍ය දැන ගත් පසු අපට ඇත්තේ එකට එකතු වීමයි. සංහිඳියාව ඇති කිරීමයි. එය නඩු දමා සිදු කිරීමට බැහැ. එසේ කළහොත් එය අසාර්ථක වෙනවා. පළමුවෙන්ම සත්‍ය සොයා ගැනීමට යන්ත්‍රණයක් ඇති කළ යුතුයි.ඒ සඳහා අප ආයතන තුනක් ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. අතරුදන් වුවන් පිළිබඳ කාර්යාලය, දෙවැන්න චෝදනා සහ සිද්ධීන් පිළිබඳ විභාග කර ඒවා ඉදිරියට ගෙන යා යුතුදැයි තීරණය කිරීමට ඇති කරන විශේෂ නීතිඥ කාර්යාලය.

ඒ දෙකම අප ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙරට නීතිය යටතේ ක්‍රියාත්මක කළ යුතුයි. නීතීඥ කාර්යාලය තීරණය කළ පසු අපේ අදහස පළමුවෙන්ම සත්‍ය කොමිසමට ඉදිරිපත් කළ යුතුයි. එමගින් තීරණ ගත හැකියි. සත්‍ය කොමිසම මගින් සත්‍ය සොයා ගත යුතුයි. ඉන් පසු අපේ මූලික කාරණය අවසන්. සත්‍ය කොමිසමට උපදෙස් දීම ආගමික නායකයන් සිදු කරන බව ද කී අගමැති වික්‍රමසිංහ මහතා ලෝකයේ සත්‍ය කොමිසම් මීට පෙර ක්‍රියාත්මක වුවද ආගමික නායකයන්ගේ උපදෙස් ඊට සම්බන්ධ කරගෙන නොතිබු බව ද කීය.

නඩු දැමිය හැකි කාරණා තිබෙනවාදැයි සත්‍ය කොමිසමට තීරණය කළ හැකි බවත් ඒ සඳහා දේශීය අධිකරණ යන්ත්‍රණය යටතේ සිදු වන බවත් මේ කටයුතු සියල්ලම නීතියෙන් සහ පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු බවත් කීය. විදේශීය අය මෙයට සම්බන්ධ වේ නම් මෙරට නිලධාරීන් සහ මෙරට නීතිය යටතේ ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා කීය. මේ සියල්ල පාර්ලිමේන්තුවෙන් අනුමත කර අපේ ව්‍යවස්ථාවට අනුකූලව සිදු කරන බව ද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ පරමාධිපත්‍ය ඇත්තේ මහජනතාවට බවත් රජය ව්‍යවස්ථාවට පටහැනිව නොයන බව ද කී අගමැතිවරයා අප අත්සන් කර ඇති ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාත්මක විය යුත්තේ මෙරට නීතිය යටතේ බව ද අවධාරණය කළේය. අද සිදු වී ඇත්තේ ජනතා පරමාධිපත්‍යෙය් ජයග්‍රහණයක් බව ද මෙය සිදු කිරීමට හැකියාව ලැබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවක් ඇති කළ නිසා බව ද කීය.