නිවාස 25,000 ක් සම්පූර්ණයෙන්ම කපරාරු කරන ඓතිහාසික නිවාස සංවර්ධන වැඩසටහනක්

ලෝක ජනාවාස දිනය මූලික කරගෙන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හරහා ඓතිහාසික නිවාස සංවර්ධන වැඩසටහනක් කිරීමට අප බලාපොරොත්තු වෙන බව නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය.

ලෝක ජනාවාස දිනය නිමිත්තතෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (28) එම අමාත්‍යාංශයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

2df74fa28bc03c079dd4aa1d20a28e4f_L

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් තමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබුණු බැවින් එහි සඳහන් ආකාරයට රටේ දිස්ත‍්‍රික්ක 25ම ආවරණය වන පරිදි එක දිස්ත‍්‍රික්කයකින් නිවාස 1000 බැගින් තෝරාගෙන එම නිවාස 25,000 ක් වෙනුවෙන් රුපියල් මිලියන 250 ක රාජ්‍ය දායකත්වයක් ලබා දී, එම නිවෙස් වල ජනතාවගේ ප‍්‍රජා දායකත්වයත් ලබා ගෙන, ලෝක ජනාවාස දින සැමරුම වෙනුවෙන් ඒ නිවාස 25,000 සම්පූර්ණයෙන්ම කපරාරු කරන දැවැන්ත වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ අනුව එක් නිවසකට අඩුම තරමේ රුපියල් 10,000වත් වටිනා මූල්‍ය දායකත්වයක් ලබාදීමටයි රජය බලාපොරොත්තු වන අතර තවදුරටත් මේ මුදල යම් තාක් දුරට අඩුකොට වැඩි ප‍්‍රතිලාභීන් ගණනකට මෙම ප‍්‍රතිලාභය ලබාදීමටත් සැලසුම් කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා මෙම ක‍්‍රියාවලියේ දී එම නිවෙස් හිමියන්ගේ දායකත්වය ලබාගෙන, දිස්ත‍්‍රික් ලේකම් වරුන්ගේ සහායෙන් නොමිලේ වැලි ලබාදීමේ ක‍්‍රියාවලියක් ද ආරම්භ කර, ප‍්‍රතිලාභියාත්, රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත් එකතු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. කේ. කේ. අතුකෝරාල, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.