පස් කන්ද අපිව යටකරගෙන ගියා

වෙනදා වගේම හවස 2.00ට විතර වැස්ස පටන්ගත්තා. එන්න එන්නම වැස්ස වැඩිවුණා. සැරට විදුලි කෙටුවා. වෙනදා නැති තරම් වැස්සක් වහින නිසා අපි බය වෙලා හිටියේ. මම වැඩට ගිහින් ගෙදර එන ගමන් ගේ ළඟට එනකොට එකවරම කන්ද උඩ පැත්තෙන් හෙණයක් ගැහුවා වගේ විශාල ශබ්දයක් ආවා.මම කන්ද පැත්ත බලනකොට විශාල ගල් හා පස් පෙරළීගෙන අපේ ගෙවල් පැත්තට එනවා දැක්කා. එහෙම ඇවිත් අපේ ගෙවල් යටකරගෙන පහළට ගියා. යැයි පෙරුමාල් ඥාණසේකරන් මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ කොත්මලේ, රම්බොඩ, වෙදමුල්ලවතුයායේ ලිලිස් ලෑන්ඩ් කොටසේ සිදු වූ නාය යෑමෙන් මියගිය 07 දෙනාගේ මරණ පරීක්ෂණයේ දී ය.

මෙම අනතුරින් තනි නිවාස 2ක් ඇතුළු පේළි නිවාසයක් ද විනාශ වූ අතර, ඒවායේ පදිංචිකරුවන් 7 දෙනකු පස් ගල් හා බිත්තිවලට යට වී මියගොස් තිබුණි.

මෙම නාය යාමට 8 දෙනකු හසුව තිබූ අතර එයින් බේරී ඇත්තේ එක් අයකු පමණි. එම තුවාලකරු මේ වන විට ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. සිද්ධියෙන් මිය ගිය අය අතර එකම පවුලේ තිදෙනකු හා කුඩා ළමුන් සිව්දෙනකු ද සිටින අතර, තුවාල ලැබූ අය එකම පවුලේ මියගිය තිදෙනාගේ ගෘහ මූලිකයා ය.

මිය‍ගොස් ඇත්තේ සෙන්ගෝල් ලෙච්චුමී (67), කන්දසාමි ගාන්ධිමදි (24), සිවචන්ද්‍රන් රූබිනා (2), සෙවනු යෝගනායගී (48), සම්මුගරාජ් බුවනා (6), ඥාණසේකරන් සහානි (9), ඥාණසේකරන් සනෝජ් අරුන් (4) යන පිරිස වන අතර පාණ්ඩියන් ගනේෂන් (50) මෙසේ තුවාල ලබා ඇත.

mountain

මියගිය අයගේ සිරුරු කොත්මලේ දිසා රෝහලට රැගෙනවිත් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා එම සිරුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙනවිත් තිබුණි. එහිදී කොත්මලේ මැදපනේ කෝරළයේ හදිසි මරණ පරීක්ෂක එම්.ටී. සුමනසිරි අල්විස් මහතා මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙළේය.

එහිදී නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන් මහේන්ද්‍ර, ස.පො.අ. ජී.විමලදාස, කොත්මලේ පොලිස් ස්ථානාධිපති පො.ප. ලලිත් මහගෙදර යන මහත්වරුන්ගේ උපදෙස් මත පො. සැ.556602 විලියම්, පො.පො. 31068 අබේරත්න, පො.පො. 38448 වි‍ජේසේකර,නාවලපිටිය රෝහල් පොලිසියේ පො. කො.33848 ජයසිංහ, කා.පො.කො. 8313 පුෂ්පමාලා යන නිලධාරීන්ගේ සාක්කි මෙහෙයවීම මත තවදුරටත් සාක්කි දුන් පෙරුමාල් ඥාණසේකරන් මෙසේද පැවසුවේය.

මේ සිද්ධියෙන් මියගොස් සිටින සහානි හා ස‍නෝජ් අරුන් යන දෙන්නා මගේ දරුවන්. වහින වෙලාවේ මේ අයගේ අස්සේ තමයි හිටියේ. කන්ද කඩාගෙන එනකොට මම කෑ ගැසුවා. නමුත්වැඩක් වුණේ නෑ. කන්ද ඇවිත් ගේ යටවෙලා යනකොට මට කලන්තය ඇවිත් වැටුණා. පස්සේ මමයි ගමේ අයයි ගෙවල්වලට එනකොට ඒවා පස් ගල්වලින් වැහිලා. අපි කට්ටිය එකතුවෙලා පස් ගස් අයින් කරන කොට යටවෙලා හිටිය මගේ දරුන් දෙන්නා හා අනික් අය හම්බ වුණා. මේ අය කොත්මලේ ඉස්පිරිතාලයට අරන් ගියත් මැරිලා කියලා දැනගත්තා.

සුබ්‍රමනියම් සිවචන්ද්‍රන් (23) ගෙදර ඉඳලා කි. මී 3ක් විතර ඈතින් තියෙන එළවළු කොටුවක තමයි මම වැඩ කරන්නේ. හවස තදට වැස්ස තිබුණ නිසා පාර හරහා තිබුණ ඇළ උතුරලා ගියා. ඒ නිසා අපට එන්න විදිහක් නැතුව ගොඩක්වෙලා ඉන්න වුණා. වෙනද මේ වගේ තද වැස්සක් තිබුණෙ නෑ. වැස්ස ටිකක් අඩු වුනාම අපි ගමට එන්න පටන් ගත්ත. ඒ එනකොට කන්ද නාය ඇවිත් අපේ ගෙවල් යටවෙලා තිබුණා. මේකෙන් මියගොස් සිටින ගාන්ධිනදි මගේ බිරිය. එයා මගේ අවුරුදු 02ක් වුණ දරුවා එක්කම පස්වලට යටවෙලා හිටියා. මගේ අම්ම යෝගනායගී එයත් යටවෙලා මැරිල හිටිය. තාත්ත යටවෙලා හිටියත් එයාව බේරගන්න පුළුවන් වුණා. එයා දැන් ඉන්නේ ගම්පොල ඉස්පිරිතාලේ.

මෙහිදී සින්නතම්බි සම්මුගරාජ්, රාක්කම් පුනිදසෙල්වම් යන අයද සාක්කි දෙනු ලැබීය. මේ අතර මෙම සිද්ධිය දුටුවන් හා මියගිය අයවලුන් ගොඩගැනීමට සහය දුන් පිරිස හා මිය ගිය අයගේ ළඟම ඡාතීන්ද අදහස් දක්වමින් මෙසේ පැවසීය.

කේ. මහේෂ්වරී, මේ සිද්ධියෙන් මියගොස් සිටින පොඩි දෙන්නා මගේ නංගිගේ දුවයි පුතයි. නංගි මේ අයට දුකක් නොදෙන්න ඕනෑ කියලා රට ගියා. සභානි දුවට අවුරුදු 9යි. අරුන්ට අවුරුදු 4යි. මම දුවගේ ඉස්කෝලේ තිබ්බ රැස්වීමකට ගියා. එයා ඉගෙන ගත්තේ රම්බොඩ කල්ලුරි හින්දු පාසලේ. අපි ඉස්කෝලෙ ඉන්නකොට පණිවිඩයක් ආවා. නාය ගිහින් ගෙවල් යටවුණා. අපට එන්න එපා. තව නාය යනව කියලා. මට දරුවො දෙන්නා මතක් වුණා නංගිගෙ බලාපොරොත්තු මතක් වුණා. එම නිසා එපා කීවත් මම දුවගෙන ගෙවල් පැත්තට ආවා. එතකොට දරුවා එක්කම ගෙවල් පස්වලින් යටවෙලා තිබුණා. ගමේ කට්ටිය එකතුවෙලා මේ අය හොයන්න ගත්තා. දැන් නංගී ආවාම අපි එයාට දරුවො ගැන මොනවද කියන්නෙ.

පී. විවේක්, නාය ගිහින් ගෙවල් යටවුණාට පස්සේ අපි මේ අය ගොඩගන්න පටන් ගත්තා. හවස් වෙනකොට පොලිසිය යුද හමුදාව වගේ අයත් ආවා. ඉස්සර වෙලාම අවු 9 සභානි දුව හම්බවුණා. තුවාල වෙල හිටිය පාණ්ඩියන් අපේ රෝහලට යැවුවා. රෑ වෙනකොට යටවෙලා හිටිය 6 දෙනෙක් ගොඩ ගත්තා. පහුවෙනිදා තමයි අනෙක් පොඩි දරුවා හොයාගත්තේ. සිද්ධියෙන් තුවාල ලබා ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන පාණ්ඩියන් ගනේෂන් (50) මෙසේ පැවසීය. මමයි මගේ බිරියයි.

පුතාගෙ බිරියයි එයාගෙ දරුවයි. අපි ගේ ඇතුළේ හිටියෙ. තදට වැස්ස තිබුණා. විශාල වතුර පාරක් අපේ ගෙවල් ළඟින් ගියා. එකපාරටම බිත්ති කඩාගෙන අපි යටකරගෙන ගියා. මට හොදටම තුවාලයි. මොනව වුණාද කියලා ඊට පස්සෙ මට මතකයක් තිබුණේ නෑ.

මෙහිදී මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. බී. එම්. ෆයිසල් මහතා සඳහන් කර සිටියේ පස් හා ගල්වලට යටවෙමින් ඉන්ද්‍රියන්වලට හානි සිදුවීම් හා පෙනහළුවලට මඩ හා ජලය ඇතුල්වීම මෙම මරණවලට හේතු වී ඇති බවයි.