බෙනින් රාජ්‍යයේ සෙල්ලම් නිරින්දෝ

රජවරුන් පාලන කටයුතුවලට සම්බන්ධව සිටින රාජ්‍යය විශාල සංඛ්‍යාවක් අදටත් ලෝකයේ දක්නට ලැබේ. එක් රජකෙනකු නොව රජවරුන් රැසක් ප්‍රාදේශීය පාලන කටයුතුවලට සම්බන්ධව සිටියත් බෙනින් රාජ්‍යය අද එකී ලැයිස්තුවට ඇතුළත් වන්නේ නැත. එයට හේතුව බෙනින්හි රජවරුන් “සෙල්ලම් රජවරුන්ගේ” තත්ත්වයට ඇද වැටීම මිස අනෙකක් නොවේ. කිසියම් මට්ටමකින් පාලන කටයුතුවලට සම්බන්ධව සිටියත් මේ පාලකයන් “සෙල්ලම්” රජවරුන්ගේ තැනට වැටීම හා ඍජුවම බද්ධව තිබෙන්නේ බටහිර පාලකයන් එරට කටයුතුවලට අතපෙවීමය. මේ තත්ත්වය තුළ එදා රාජකීයයන් පවත්වාගෙන ගිය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් නමට පමණක්වත් පවත්වාගෙන යන්නට “සෙල්ලම් රජවරුන්” යැයි කියා හැඳින්වෙන පාලකයන්ට අද සිදුව ඇත. තත්ත්වය එබඳු තැනෙකට පත්ව තිබෙන්නේ මේ “සෙල්ලම් රජවරුන්” එදා සිටි රජවරුන්ගේ පරම්පරාවලින් පැවැත ඒම නිසයි. අනෙක් අතට මේ අය එහෙමවත් එකී පුරාණ සිරිත් විරිත් පවත්වාගෙන නොගියහොත් වත්මන් පරම්පරාවට තම අතීත උරුමයන් දැක බලා ගන්නට ඇති අවස්ථාවක් අහිමිවී යනු නිසැකය. එය සෙල්ලමක් ලෙස සලකන්නට බැරි තරමේ බරපතළ කාරණයකි.

බටහිරින් ටෝගෝවටත් නැගෙනහිරින් නයිජීරියාවටත් උතුරින් නයිජර් සහ බූකිනා ෆාසෝ රාජ්‍යයන්ටත් මැදිව බෙනින් රාජ්‍යය පිහිටා ඇත. 1600 වසරේ සිට 1894 වසර දක්වා වූ කාලය තුළ මේ රට හැඳින්වුණේ ඩහෝමේ නැතහොත් ඩහෝමේ රාජධානිය යනුවෙනි. බෙනින් යන නමින් එරට හැඳින්වෙන්නට පටන් ගත්තේ 1975 වසරේ නොවැම්බර් 30 වැනිදා සිට බව ඉතිහාසයේ සඳහන්ව ඇත. ඩහෝමේ රාජධානිය බටහිර අප්‍රිකා ඉතිහාසයේ ඉතා සුවිශේෂ රාජධානියක් ලෙස ඉතිහාසඥයෝ සලකති. ඩහෝමේ රාජධානියට යටත් යැයි කියා හඳුනා ගත් ප්‍රදේශ ක්‍රිස්තු වර්ෂ 1200 තරම් ඈත යුගයේදීත් පාලනය කර තිබෙන්නේ රජවරුන් බව ඉතිහාසඥයන්ගේ මතයයි. නමුත් ඒ අතීතයට වඩා වැඩිපුර අද කතා බහට ලක්කෙරෙන්නේ වසර 1600 සිට එහි ස්ථාපිත ඩහෝමේ රාජ්‍යයේ පාලන කටයුතු ගැනයි. 1600 වසරේ සිට 1740 වසර දක්වා වූ කාලය, ඩහෝමේ රාජ්‍යයේ නැග්ම හැටියටත් සැලකේ.

ඩහෝමේ රාජ්‍යය කවදාටත් මැනැවින් සංවිධානය වී පැවැති බව ඉතිහාසයේ සටහන්ව ඇත. විශේෂයෙන්ම එහි ආර්ථිකය දියුණු මට්ටමක තිබුණු බවට තතු අනාවරණය වේ. ආර්ථිකය එකී දියුණු මට්ටමට නංවා ගන්නට පාලකයන්ට හැකියාව ලැබුණේ එදා එහි තිබුණු වහල් වෙළෙඳාම නිසා. ඔවුන් වහලුන් වැඩි වශයෙන් විකුණා තිබෙන්නේ යුරෝපාකරයේ රටවලටය. ඒ හැරුණුවිට ඉංග්‍රීසින්, ලන්දේසීන් සහ පෘතුගීසීන් සමඟ විවිධ ආකාරයේ වෙළෙඳ සබඳතා ගොඩනඟා ගන්නටත් ඩහෝමේ පාලකයෝ එදා සමත් වූහ. මේ සමෘද්ධිමත් අවධියේදී පමණක් නොව ඉන් මතුවටත් ඩහෝමේ රාජ්‍යයේ පාලනය කේන්ද්‍ර ගතව තිබුණේ අබෝමේ නගරයේ බව ඉතිහාසඥයෝ පවසති. 1600 වසරේ සිට 1900 වසර දක්වා රජ කළ රජවරුන් ඉඳි කළ මාළිගා රැසක් අද වුව මේ නගරයේ දකින්නට පුළුවන. ඒවා ඩහෝමේ සංස්කෘතිය අනුව ඉඳි කරන ලද කුඩා ප්‍රමාණයේ නිවාස මිස දැවැන්ත මාලිගා නොවන වග වාර්තාවල දැක්වේ. නමුත් මේ මාළිගා සියල්ලක්ම ඓතිහාසික වැදගත්කමක් ඇති ඒවා සේ සැලකේ. මේ නිසා එකී මාළිගා සියල්ලක්ම 1985 වසරේදී ලෝක උරුමයන් ලෙස නම් කෙරිණ.

1718දී ඩොහෝමේ පාලනය අතට ගන්නා අගජා රජු වැඩි කල් නොගොස් සන්නද්ධ අරගල කිහිපයක්ම අරඹයි. මේ අරගල ඇතිවුණේ ඩහෝමේ රාජ්‍යය පුළුල් කරගැනීම පිණිස බව ඉතිහාසයේ දැක්වේ. අරගල රැසක් ජයග්‍රහණය කරන්නට හැකිවුණත් 1729දී අසල්වැසි ඔයෝ අධිරාජයා සමඟ එළැඹි සටන අගජා රජුට තීරණාත්මක එකක් විණ.

පැවැති සටන්වලින් අගජා මුළුමනින්ම පරාජයට පත්වූයේ නැත. නමුත් මහා දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගන්නටත් ඔහුට බැරිවිය. අන්තිමට සිදුවුණේ ඩහෝමේ, ඔයෝ අධිරාජයා යටතේ පවත්නා රාජ්‍යයක් බවට පත්වීමයි. එකී රාමුව තුළ වුව සිය රාජ්‍ය බලවත් තැනකට රැගෙන එන්නට අගජා සමත්වේ. නමුත් 1740 අගජා අභාවයට පත්වීමත් සමඟ ඩහෝමේ ආර්ථිකයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණදෙයි. ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ වහල් වෙළඳාමට වැට පැනවීමය. එකී බාධකය පැනවූයේ ඔයෝ අධිරාජයායි.

වහල් වෙළඳාම ලෝකයෙන් අතුගා දැමීමේ පිළිවෙතකට බ්‍රිතාන්‍යය පිවිසෙන්නේ එක්දහස් අටසිය හතළිස් ගණන් මැද භාගයේ සිට එක්දහස් අටසිය පනස් ගණන් මැද භාගය දක්වා වූ කාලය තුළය. බ්‍රිතාන්‍යය අනුගමන කරන්නට යෙදුන මේ ක්‍රියා කලාපය ඩහෝමේහි ආර්ථිකයට නොසෑහෙන පහරක් විණ. ඔයෝ අධිරාජයා කෙරෙන්ද මේ බලපෑම ම එල්ල වීම නිසා තත්ත්වය දෙගුණයක් සැරෙන් ඩහෝමේ වෙත දැනී තිබුණේය. ඒ අතර තුර බ්‍රිතාන්‍ය බලධාරීහු ඩහෝමේ වෙත රාජතාන්ත්‍රික නිලධාරින් එවමින් ප්‍රකාශ කර සිටියේ වහල් වෙළඳාම නවත්වන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. මේ බලපෑම් එල්ල වනවිට ඩාහෝමේහි පාලනය ගෙන ගියේ ගෙසෝ නැමැති හිතුවක්කාර පාලකයෙකි. වහල් වෙළඳාම නවතා දමන්නට ඔහුට අවශ්‍යතාවක් තිබුණේ නැත. මේ නිසා ඔහු නිතරම බ්‍රිතාන්‍යය රාජතාන්ත්‍රිකයන් සමඟ ගැටළු ඇති කරගත්තේය.

තත්ත්වය භයානක අදියරකට ළඟා වන්නේ 1851 – 1852 කාල වකවානුව තුළයි. තමන්ගේ කීමට සවන් දෙන්නවත් කැමැත්තක් දක්වන්නේ නැති ඩාහෝමේ පාලකයාට එරෙහිව දැඩි පියවරක් ගන්නට බ්‍රිතාන්‍යය තීරණය කළේ එවකය. එහි එක් පියවරක් වශයෙන් ඩාහෝමේ වරාය අවහිර කරන්නට බ්‍රිතාන්‍යයෝ තීරණය කළහ. අනෙක් අතට 1857 – 1858 කාලය තුළ ඩහෝමේ රාජ්‍යය තුළ යුධමය වාතාවරණයක් ද ඇතිවේ. කෙතරම් ප්‍රබල සහ දරදඬු පාලකයකු වුවද අවසානයේදී ගෙසෝ ඝාතනයට ලක්වේ. ඒ සමඟම වහල් වෙළඳාම දුර්වල තැනකට ඇද වැටේ. රටේ ධනෝත්පාදනය, ඒ වනවිට නැඟෙමින් තිබුණු පාම් තෙල් නිෂ්පාදනය වෙත වැඩියෙන් නැඹුරුවන්නට පටන් ගනී. ඒ වගේම ඩහෝමේ වෙත එල්ල වන බටහිර බලපෑම්ද වැඩිවන්නට පටන් ගැනේ.

ඩහෝමේ වෙත එල්ල වන බටහිර බලපෑම් වැඩිවන්නේ අප්‍රිකා රාජ්‍ය අත්පත් කරගැනීමට යුරෝපීයයන් වැඩි වැඩියෙන් පෙළඹීමත් සමඟයි. ඩහෝම් වෙත එල්ල වන බලපෑම් විෂයයෙහි වඩාත් කැපී පෙනෙන්නේ බ්‍රිතාන්‍යය ජාතිකයන් නොව ප්‍රංශ ජාතිකයන්ය. ඩහෝමේහි පෝර්ටෝ – නොවෝ නගරයට ප්‍රංශ ජාතිකයන් සංක්‍රමණයවීම නොවැලැක්විය හැකි විණ. එහි අවසාන ප්‍රතිඵලය වුණේ ඩහෝමේ රාජ්‍යය අනුක්‍රමයෙන් ප්‍රංශ අධිරාජයාගේ යටත් රාජ්‍යයක් බවට පත්වීමය. අන්තිමට ඩහෝමේහි නම ප්‍රංශ – ඩහෝමේ යනුවෙන් වෙනස් කෙරේ.

එක්දහස් අටසිය අනූ ගණන් මුල භාගයේදී ප්‍රංශ ජාතිකයන් අතට පත් ඩහෝමේ රාජ්‍යයට පූර්ණ වශයෙන් නිදහස ලබන්නට හැකි වන්නේ 1960 වසරේ අගෝස්තු පළමුවනිදායි. ඒ වනවිට රට ආර්ථික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික වශයෙන් විශාල වෙනසකට භාජනය වී හමාරව තිබිණ. ඔයෝ අධිරාජයාට යටත් රාජ්‍යක්ව පැවතීම, බ්‍රිතාන්‍ය පාලකයන්ගේ බලපෑම් වගේම අවසානයේදී සිදුවුණු ප්‍රංශ අධිරාජයාට යටත්ව පැවතීම යන කාරණා නිසා නිදහසින් පසු ඩහෝමේ රාජ්‍යයට රජකු පත් වූයේ නැත. බලය අල්ලන්ට විවිධ පාර්ශ්ව ගෙන යන භයානක අරගල ඉදිරි දොළොස් වසර තුළ – එනම් 1972 වන තුරුම ඩාහෝමේහි පැවැතියේය.

දේශපාලන වශයෙන් ස්ථාවර තැනකට ළඟා වී සිටියත් ඩහෝමේ වැසියන්ට අදටත් තම යටගියාව මුළුමනින්ම අමතක කර දමන්නට පුළුවන්කමක් නැත. ඒ නිසා රජවරුන්ගේ පරම්පරාවලට සම්බන්ධ අය අදටත් රජවරුන් ගෙනගිය සම්ප්‍රදායන් අනුගමනය කරති. බෙනින්හි විවිධ ප්‍රදේශවල රජවරුන් හෙවත් ප්‍රාදේශීය පාලකයන් බවට පත්ව සිටින්නේ එකී පිරිසයි. එදා රජවරුන් ඇන්ඳේයැයි කියා කියන ඇඳුම් – පැළඳුම් එකී පිරිස අද අඳිති; පළඳිති. දියුණු වාහන නොතිබුණු යුගයේදී රජවරුන් මහා මඟ ගමන් ගත්තේ මිනිසුන් ඇදගෙන ගිය කරත්තවල නැඟීය.

ඒ සම්ප්‍රදාය සිහි ගන්වමින් රජ පවුල්වලට සම්බන්ධ යැයි කියන උදවිය අද පවා ගමන් ගන්නේ මිනිසුන් අදින කරත්තවලිනි. ඒ මදිවාට කුඩ ඉහළා ඒ අයව අව් වැසි පීඩාවලින් බේරා ගන්නට පිරිසක්ද වෙති. කුඩ ඉහළන අය ඒ කුඩ කරකවන්නේ ඔරලෝසුවේ කටු ගමන් ගන්නා ආකාරයටයි. රජතුමාට වැඩි කාලයක් යෙහෙන් වැජඹෙන්නට එය ආධාරවෙතැයි කියන විශ්වාසය එදා සාමන්‍ය ජනයා අතර තිබීම එයට හේතුවයි. රජතුමායැයි කියා ගන්නා පුද්ගලයා රැගත් කරත්තය මහමඟ දිග එනවිට එයට ඉදිරියෙන් පිරිසක් නොයෙක් ආකාරයේ ශබ්ද නඟමින් අදත් ගමන් ගනිති.

තමන්ගේ රාජ්‍යයේ නායකයා මහා මඟ ගමන් ගන්නේය යන පුරාණ දැනුම් දැනුම්දීම සංකේතවත් කරන්නේ එකී පිරිසයි. නමුත් වඩාත් මවිතයට කාරණය මෙවැනි රජකෙනෙකුගේ ඡායාරූපයක් ගන්නට කිසිවකුට ලෙහෙසියෙන් පහසුවෙන් බැරිවීමය. රජවරුන් ඉහළ මිලක් ඉල්ලා සිටීම ඒ සඳහා ඇති එකම බාධකයයි. ඒ මිල කෙතෙක්දැයි කියා කිවහොත් සමහරුන් ඡායාරූපයකට පෙනී සිටින්නේ අඩුතරමින් යුරෝ 250ක වත් මුදලක් ඡායාරූප ශිල්පියාගෙන් ගැනීමෙන් අනතුරුවය. රජ පවුල්වලට සම්බන්ධ මේ පිරිස පුරාණ වත්පිළිවෙත් අනුගමනය කිරීම එතරම් ගැටළුවක් නොවුණත් ඡායාරූපයකට ඉහළ මිලක් ඉල්ලීම නම් එතරම් සුදුසු දෙයක් නොවන බව බොහෝ අය පවසති. ඒ ගැන සැලකිලිමත් වනවිට කියන්නට සිදුවන්නේ සෙල්ලමක් නොවන තැනට සංස්කෘතිය තව පරපුරකට දැක බලාගන්නට ඉඩ සලසන මේ රාජකීයයන් සමස්ත සමාජය සමඟ ම සෙල්ලමක් කරන බව නොවේද?.