මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධාරිතාව හා කැපවීම ශ්‍රී ලංකාව සතුයි

mangala-samaraweera1

කාලයක් තිස්සේ, පියවරෙන් පියවර, අප රටේ ජනතාව අතර සාමය තහවුරු කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගන්නා අතර ජාත්‍යන්තරය තුළ අප රටට හිමි තැන ලබාගැනීම සඳහා ද කටයුතු කරමින් යෝජනාවේ පවතින විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ධාරිතාව, විශේෂඥ දැනුම හා කැපවීම ශ්‍රී ලංකාව සතුව ඇති බව විශ්වාස කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පිළිබඳව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කර සිටියි.

විදේශ අමාත්‍යවරයා පළ කළ සම්පූර්ණ අදහස් මෙසේය ;

“අද වනවිට ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේ දී අප විසින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තෙමු.

පසුගිය වසර කිහිපය පුරාවට අප රටට එරෙහිව සම්මත වූ යෝජනා හේතුවෙන් අප රට ජාත්‍යන්තරය තුල විශාල වශයෙන් අපකීර්තියට පත්විය. බෙදුම්වාදීවූත් කර්කශවූත් ඡන්දය භාවිතා කිරීම් හමුවේ 2012 වසරේ සිට නොකඩවා සම්මත වූ යෝජනා වලින් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව දිගින් දිගටම පරාජයට හා හුදෙකලාවට පත්විය.

පසුගිය ර‍ජය විසින් 2009 වසරේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවක් ජයගත් බවට උදම් ඇනුවත් එම උත්සාහය කවුන්සිලය තුල සම්මුතියක් ඇති කිරීමේ ලා අපොහොසත් වූ බැවින් එය ශ්‍රී ලංකාව ලබාගත් සැබෑ ජයග්‍රහණයක් වශයෙන් සැලකිය නොහැක.  ඡන්දයකින් අනතුරුව ක්‍රියාවට නැංවුණු මෙම යෝජනාව හරහා කවුන්සිලයේ සාමාජිකයන් බොහොමයක් විරසක වූ අතර ඒ තුලින් ශ්‍රී ලංකාවට තවදුරටත් අපකීර්තියට පත්කරමින් 2012, 2013, හා 2014 වසරවලදී නොකඩවා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත වීමට මඟපාදන ලදි.

එම කාලවකවානුව සැබවින්ම සාමයට ලැදි, ප්‍රජාතන්ත්‍රවාදයට ඇළුම් කල, එමෙන්ම දශක ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන් අතර ගෞරවාදරයට පාත්‍ර වූ හා සියළු දෙනා අතර මධ්‍යස්ථ මෙන්ම මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කල ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි සේ අපහසුතාවයට හා අපකීර්තියට පත්වූ කාල වකවානුවක් විය.

දශක 3 ක් පුරාවට පැවති යුද්ධය 2009 වසරේ දී අවසන් වූ පසුව, සාමය උරුම වීම වෙනුවට අප ‍රටේ ජනතාවට හිමිවූයේ නිදහස අහිමි වූ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සීමා වූ, නීතියකින් තොර වූ රටකි. සාමයෙන් හා සමගියෙන් ජීවත් වීම සඳහා වූ අප රටේ ජනතාවගේ සිහිනය බොඳ වී ගියේය. සංහිඳියාව තුලින් ජාතීන් එක්සත් කිරීම සඳහා සහ අප රටේ පවතින විවිධත්වය සමරන රටක් බිහිකිරීම සඳහා ලැබුණු අවස්ථාව ජාතීන් අතර පරතරය වැඩිකරන හා ජාත්‍යන්තර වශයෙන් අප රට හුදෙකලා කරන ක්‍රියාවන් හමුවේ අහිමි වී ගියේය.

මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවු අතර එපමණක් නොව 2009 වසරෙන් පසු මානව හිමිකම් කඩවීම් පිළිබඳ සිද්ධීන් වල වර්ධනයක් ද දක්නට ලැබුණි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ විවේචනයට ලක්වූ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ද ඔවුන්ගේ අවධානය යොමු විය. එමගින් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැනුම හා විශේෂඥතාවය ලබාගැනීම, ජාත්‍යන්තර වෙළඳපලට ප්‍රවිශ්ට වීම හා ආර්ථික දියුණුව තුළින් ආයෝජනය හා ප්‍රතිලාභ ආකර්ෂණය කරගැනීම සඳහා තිබූ අවස්ථාව අප රටේ ජනතාවට අහිමි විය.

නමුත්, 2015 ජනවාරි මස පටන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන නව රජයේ අධිෂ්ඨානය හා උත්සාහය හමුවේ නිදහස, සමානාත්මතාවය හා යුක්තිය යන විශ්වීය අගයන් ගරු කරන වගකිවයුතු, විශ්වාසනීය, සාමකාමි ජාතියක් වශයෙන් නැවත වරක් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඒ අනුව, සත්‍යය, යුක්තිය, වන්දි ලබාදීම හා නැවත ඇති නොවන බව තහවුරු කරමින්, සියළු ජනතාව සඳහා සාමය හා සෞභාග්‍යය ළඟාකරලීම සඳහා අර්ථවත් ප්‍රතිසන්ධානයක් කරා යන ගමනේ දී, කලෙක බෙදී තිබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහය යළි ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා එකඟ කරවා ගැනීමට හැකි විය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා දින 100 වැඩපිළිවෙල අනුව යමින් අප විසින් මෙම වසර තුලදී දෙවරක්ම ලබාගත් මැතිවරණ ජයග්‍රහණය, යුක්තිය, නීතියේ ආධිපත්‍යය, යහපාලනය හා වගවීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාව තුල ඇති කැමැත්ත පිළිඹිඹු කරයි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විභාග කිරීම සඳහා විශ්වාසනීය පරීක්ෂණ පැවැත්වීම ද මෙම යාන්ත්‍රණයට ඇතුලත් වන අතර එමඟින් නැවත ඇති නොවීම තහවුරු කෙරෙන අතර ජාත්‍යන්තර ප්‍රජාවගේ හා ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත ජීවත් වන සියළු පාර්ශවකරුවන්ගේ සහය ලබාගනිමින් සංහිඳියාව, සාමය හා ස්ථාවරත්වය ලඟාකරගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉදිරියටම පියනැගීමට හැකිවනු ඇත.

මවිසින් මීට පෙර ද අවධාරණය කල පරිදි ත්‍රස්තවාදය පැරදවීම අත්‍යවශ්‍ය විය. එබැවින් අද වනවිට ත්‍රස්තවාදයට හේතු සෙවීමේ ලා සහ ජාතිය හා සාමය ගොඩනැගීමේ ලා කටයුතු කිරීමට අවශ්‍ය නිදහස ශ්‍රී ලංකාවට හිමිව ඇත. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාව සිය විනය හා වෘත්තීය නිපුණතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ කාලයක් තිබුණි. නමුත් මෑත අතීතයේ බලයේ සිට ඇතැමුන් විසින් නිර්මාණය කරන්නට යෙදුනු පද්ධතිය හා සංස්කෘතිය හේතුවෙන් සන්නද්ධ හමුදාවන‍්ගේ කීර්ති නාමය පළුදු විය. මෙම තත්වය ජාත්‍යන්තරය විසින් වටහා ගෙන ඇත.

මෙම යෝජනාව එක් අතකින් ජාත්‍යන්තර ප්‍රජාව අතර ඇති මෙම දැක්ම තහවුරු කිරීමක් වන අතර විශ්වාසනීය වගවීමේ ක්‍රියාවලියක් මගින් වෘත්තීය නිපුණතාවයෙන් යුතුව නිසි පරිදි ක්‍රියාකල අයගේ කීර්තිය හා ගෞරවය ආරක්ෂා කෙරෙනු ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින් ගෝලීය සාම සාධක ක්‍රියාවන්හි වැඩි වශයෙන් නිරත වන ලෙස කරන ලද ආරාධනය හා සැප්තැම්බර් මස 28 වන දින නිව්යෝක් හි පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිරයා විසින් සම සභාපතීත්වය දරණ සාම සාධක මෙහෙයුම් පිළිබඳ රාජ්‍යනායක සමුළුවට සහභාගී වීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා හට ලැබුණු ආරාධනය ද මෙම තත්වය වඩාත් හොඳින් පිළිඹිඹු කරයි.

කාලයක් තිස්සේ, පියවරෙන් පියවර, අප රටේ ජනතාව අතර සාමය තහවුරු කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග ගන්නා අතර ජාත්‍යන්තරය තුළ අප රටට හිමි තැන ලබාගැනීම සඳහා ද කටයුතු කරමින් යෝජනාවේ පවතින විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ධාරිතාව, විශේෂඥ දැනුම හා කැපවීම ශ්‍රී ලංකාව සතුව ඇති බව අපගේ විශ්වාසයයි. ඒ අනුව, පිළිවෙළින් සියළු දෙනාට ප්‍රතිලාභ හිමිවන ආර්ථික හා සමාජ සංවර්ධනයක් ලඟාකරගැනීම අපගේ අපේක්ෂාවයි. “

http://sinhala.news.lk/news/political-current-affairs/item/13696-2015-09-29-03-40-29