මොනර මකුළු රැඟුම්

කෙඳි සහිත දිගු අඬු පඬු රකුස් වෙස් ගත් මුහුණ මකුළුවන් පිළිබඳ මවන්නේ සුන්දර චිත්‍රයක් නම් නොවේ. “ස්පයිඩර් මෑන්” හෙවත් “මකුළු මිනිසා” හැර ආදරණීය වෙනත් මකුළුවන් සම්බන්ධ චරිතයක් ගැන නම් කිසිවකුගේ මතකයේ රැඳී නැතිවාට කිසිදු සැකයක් නැත. එහෙත් මේ මොනරපිල් මකුළු මිනිසා ඔබේ සිතිවිලි වෙනස් කරනු ඇත.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විද්‍යාඥයකු වූ ආචාර්ය ජර්ජන් ඔටෝට නිවාඩුවට නිවෙසින් පිටතට යාම බරපතළ ගැටලුවකි. ඒ වෙනත් නිවැසියන්ට මෙන් සුනඛ සුරතලා, බළල් සුරතලා දමා යාමට තැනක් සොයා ගැනීමට නොහැකි නිසා නම් නොවේ. සිය ගණනක් වූ මොනර මකුළු කැල දමා යාමට තැනක් සොයා ගැනීමට නොමැති නිසාය.

වරක් ඔහු නිවාඩුවට ගියේ ඕස්ට්‍රේලියානු කෞතුකාගාරයේ මිතුරකුට මකුළුවන් භාරදීය. මේ වසරේ මුලදී ඔහු සතුව කුඩා බඳුන් 250කට අධික ගණනක් තිබිණි. මැරේටස් ගණයට අයිති, සැල්ටිසිඩේ කුලයට අයත් මිලිමීටර් 2.6ක් දිගු මොනර මකුළුවන්ට ආහාර දිය යුත්තේ සතියකට වරකි. කුඩා රැහැයියන් ආහාරයට ගැනීමට උන් ඉතා ප්‍රියය.

එක් නිවාඩුවකදී ජර්ජන් බැහැරට ගියේ සිය ගණනක්වූ මොනර මකුළුවන් සූට්කේසයකට දමාගෙනය. දුම්රියෙන් ගොස් ඔහු කෞතුකාගාර මිතුරාට මොනර මකුළුවන් භාර දුන්නේය. කෞතුකාගාරය සති ගණනකට උන්ගේ හිස්වලට සෙවණ සැදීය . සති ගණනකට නිවාඩු චාරිකා සීමා කිරීමට වෛද්‍ය ජර්ජන් ඔටෝ පියවර ගන්නේ මොනර මකුළු සුරතලුන් නිසාය.

ජර්ජන් ඔටෝ මේ සතුන්ට මෙපමණටම ළංවීමේ රහස උන්ගේ මුහුණේ ඇති විශාල රවුම් ඇස්ය. ඔහු පවසන පරිදි මොනර මකුළුවන් ලෝකය දකින්නේ අප දකින ආකාරයටමය.

“හොඳින් බැලුවොත් උන් මවිතයට පත්වෙනවා. බිය වනවා. හැඟීම් පෙන්වනවා. වර්ණවත් රටා ඇඳුණු කෙඳි රිද්මයකට චලනය කරමින් අපූරු රංගනයක් ඉදිරිපත් කරනවා. ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් උන් නෙතට රසඳුනක්. ‘ඔ‍ටෝ’ මැරේටරස්ලාගේ සැබෑ රසවතෙකි.

උන් සෙ. මි. 10ක් තරම් විශාල වූවා නම් කෙතරම් අපූරුදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔටෝ උන්ගෙන් දකින සුවිශේෂීභාවය නම් මේ කුඩා බවය.

ජර්ජන් ඔටෝ විද්‍යාඥයාට මැරේටස් ගණයේ මකුළුවකු වසර 2005 දී අහම්බෙන් මුණ ගැසුණේ 2005 වසරේදීය. ඒ ඔහු බිරිය සමඟ කු – රිං -ගෙයි චේස් ජාතික උද්‍යානයේ ඇවිදමින් සිටියදීය. ඔහු සමඟ දරුවන් දෙදෙනාද මිතුරන් ද සිටියහ.

ජර්මානු සම්භවයක් ඇති ජීව විද්‍යාඥයකු වන ඔටෝ කෘමීන් සම්බන්ධ විශේෂඥයකි. ඔටෝට මහපොළොව, තුරුලතා, ලියගොමු මේ කොතැනත් පෙනෙන්නේ කෘමීන් පමණි. එය පුරුද්දට මෙන් සිදු වන්නකි. දිනක් ඔහු පුංචි මකුළු පනින්නකු සොයා ගත්තේය. ඌ දිගින් සෙන්ටි මීටර් බාගයකටත් වඩා කුඩා විය. ඔහු උගේ ඡායාරූපයක් ගත්තේය. උගේ වර්ණ රටා ඔටෝගේ නෙත්වල ඇඳුණේ සොඳුරු දේදුනු වර්ණ සිත්තමක් ලෙසිනි.

කෘමීන් අධ්‍යයනය නිසාම ඔටෝගේ පෙනීම ඉතා දියුණුය. වෙනත් බොහෝ දෙනකුට නොපෙනෙන දේ ඔහුට පෙනෙයි.

ළමා වියේ සිටම ඔහු අන්වීක්ෂයෙන් විවිධ දේ අධ්‍යයනය කිරීමට පුරුදුවී සිටී. ඔහු තණ කොළ, ජලය, පවා විනිවිද දුටුවේය. නරක්වූ ස්වභාවික දැයෙහි වැඩෙන ක්ෂුද්‍ර ජීවී විශේෂ අධ්‍යයනය කළේය. කටුස්සන්ට, සර්පයන්ට පවා ඔහුගේ දෑස්වලින් ගැලවීමක් ‍ෙනාලැබිණි.

වයසින් වැඩෙත්ම ඔහු මකුළු විශේෂඥයකු විය. අවාසනාවකට ඇරැක්නිඩ් පන්තිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීමට ඔටෝ ජීව විද්‍යාව හැදෑරූ බේමන් සරසවියේ පහසුකම් නොතිබිණි. එනිසා ඔහු මකුළුවන්ට ඥාතීත්වයෙන් සමීපවූ මැක්කන් පිළිබඳ හැදෑරුවේය. පිය ඇසට බැලූ බැල්මට නොපෙනෙන කෘමීන් වහාම නේත්‍ර දිෂ්ටියට හසුකර ගැනීමේ හැකියාව දවසින් දවස වැඩි දියුණු විය.

ඕස්ට්‍රේලියානු පෙම්වතිය සමඟ එක්දහස් නවසිය අසූගණන්වලදී නිවාඩුවක් ගත කරන අතර ඔහු කෘමි විශේෂ රාශියක් හඳුනා ගත්තේය. අලුතින් හඳුනාගත් කෘමීන් විශේෂ ගණනකටම ඔහු බිරියගේ හා දරුවන්ගේ නම් පවා තැබීය.

කෘමීන් හැදෑරීමට අමතරව වනජීවි ඡායාරූප කලාවට ද ඇලුම් කළ ඔහු මැරේටස් විශේෂ 43 ක් පමණ දැනට හඳුනාගෙන සිටී. ඉන් විශේෂ කිහිපයක් දැකගැනීමේදී උන් ඡයාරූපගත කිරීමේත් දුබල වරම ඔහු ලැබිණි. ගැහැනු ‍ෙමානර මකුළුවකු පිරිමි සහ පිරිමි මොනරා මකුළුවකු එකිනෙකා මුණ ගැසුණු විට දක්වන අපූර්ව රංගනය ඔහු‍ෙග් සිතෙහි මෙන්ම කැමරා කාචයේ ද ඇඳුනි. සමහර මැරේටස් විශේෂ වසර සියයකින්වත් කිසිවකු විසින් දැක තිබුණේ නැත. ඔහු වසර 2011 දී පළමු මොනර මකුළුවන් පිළිබඳ වාර්තා වැඩසටහන යූ ටියුබයට මුදා හැරියේය. එය අන්තර්ජාතික වශයෙන් දැඩි අවධානයකට ලක්විණ. ඒ ඊට පෙර එවැනි දසුනක් කිසිවකු දැක නොතිබුණු නිසාය. පළමුවර එය මිලියන 1.8ක ජනකායක් නැරැඹූහ. පසුව ඔහු මොනර රංගනයට පසුබිම් සංගිතයක්ද එක් කළේය. ඉන් පසු වැඩසටහන වඩාත් ජනප්‍රිය විය. “පීකොක් ස්පයිඩර්මෑන්” නමින් යූ ටියුබයට ‍ෙමානර මකුළුවන් සම්බන්ධ වීඩියෝ පට රැසක් මේ වන විට මුදා හැර තිබේ.

පනින වෙරළබඩ මොනර මකුළුවන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ආවේණිකය‍. ඔහු වඩාත් ප්‍රියකරන්නේ උන්ටය. දැන් කෝලා වලසුන් , කැන්ගරුන්, තරමටම පනින මොනර මකුළුවන් හෙවත් පීකොක් ස්පයිඩර්ස් ද ජනප්‍රිය ජීව සංකේතය.

කුඩා නමුත් මොනර මකුළුවන් පිළිබඳ මිනිසාගේ සිතෙහි ඇඳුනු චිත්‍රය වෙනස් කර ඇත. මකුළු භීතිකාවෙන් පෙළුණු අය පවා දැන් මොනර මකුළුවන්ට සෙනෙහස දක්වති.