රාමා සීතා පෙම් සුව විඳි රහස් ගල් ගෙය

එකල අප රට කර වූ සිංහළ නරපතීන්ගේ කළාකාමී සිතුවිලි හා අපේක්ෂාවන් හැඳින ඒ සිතුවිලිවලට ජීවය ලබා දුන් හෙළ කලා ශිල්පීන් දැයෙන් සමුගෙන ඇතත් ඔවුන්ගේ දෑත්වල පණ පෙවී තිබු මහඟු කුසළතාවයන් හා විස්මිත නිර්මාණ ශක්තිය අදත් ජීවමානව පවතින බවට මේ ගල්ගෙය නිහඩව සාක්ෂි දරයි.

කපා ඔප මට්ටම් කරන ලද ගලින් කාමර දෙකක් වන සේ තනා ඇති ශෛලමය ගෘහයක් වන මෙය දෙවිනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයට උතුරින් පිහිටා ඇත. මෙය පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස නම් කර ඇතත් නිසි ප්‍රසිද්ධියක් නොමැති කමින් දෙස්-විදෙස් සංචාරකයන්ගේ අවධානයෙන් ගිලිහී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

දිගින් අඩි 6ක් ද පළලින් අඩි 16ක් හා උසින් අඩි 12ක් වන මේ ස්මාරකය දේශීය කලා සම්ප්‍රදායන්ටම හිමිකම් කියන විවිධාකාර කැටයම්වලින් අලංකාර කර ඇත. ශ්‍රී ලංකාවේ දකුණු තුඩුව වන දෙවිනුවර රාජධානියක්ව පැවති වකවානුවෙහි මේ කලා කෘතිය නිර්මාණය කර ඇති මේ ගල්ගෙයට ඇතුළු වන උළු අස්සේ වම් කඳ හා දකුණු කඳ නයි පෙණ 19 බැගින් කොටා අලංකාර කර ඇති අතර උඩ එළිපතේ නයි පෙණ 12ක් ද එයට ඉහළින් ඇති බෝරද දෙකෙළවර නෙළුම් මල් 2කින් අලංකාර කර ඇත. ගල් පියස්සේ සේ පිටතට නෙරා එන ලෙස කෙටූ සරල සමාන්තර රූප කිහිපයක් දක්නට ඇතත් ඒවා කවර රූපයන් දැයි හඳුනා ගැනීමට අසීරුය. මෙහි ඇති සිතුවම් හා කැටයම් සීගිරියේ කලා නිර්මාණයන්ට සමාන හා පැරැණි බවට ද මතයක් ඇත. මෙහි ඇති ගෘහ නිර්මාණ සම්ප්‍රදාය හා කැටයම් නිරීක්ෂණයේ දී ඒවා 14 වන සිය වසෙහි නිර්මාණයන් ලෙස සැළකිය හැකි බවට පුරාවිද්‍යාඥයින් විසින් නිගමනය කර ඇත.

මේ ශෛලමය ගෘහය ප්‍රථමවරට පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට යොමුව ඇත්තේ ක්‍රි.ව. 1906 දීය. ඒ හෙන්රි ආතර් බ්ලේක් ආණ්ඩුකාරවරයා ඔහුගේ බිරිය සමඟ සංචාරයක් සඳහා දෙවිනුවර ප්‍රදේශයට පැමිණීමේ හේතුවෙනි. ඒ සමයෙහි ලංකාවේ සංචාරයක යෙදී සිටි බ්‍රිතාන්‍යයේ රජ කුමරියක් වූ ලුවී කුමරියට ශ්‍රී ලංකාවේ දකුණු තුඩුවෙහි ඇති පෙරදිග හොඳම ප්‍රදීපාගාරය වූ දෙවිනුවර ප්‍රදීපාගාරය දැක්වීමට කැඳවාගෙන පැමිණි අවස්ථාවේ එවකට මාතර සිටි උප දිසාපතිවරයා රජ කුමරිය හා ආණ්ඩුකාරවරයා මේ ගල්ගෙය පිහිටි ස්ථානයට කැඳවාගෙන විත් ඇත. මේ වටිනා ස්මාරකය ගරා වැටෙමින් හා වන රොදින් වැසී යමින් පැවතීම ගැන බ්ලෙක් ආණ්ඩුකාරතුමා විසින් එවකට පුරාවිද්‍යාත්මක කොමසාරිස් ධූරය දරූ එච්. සී. පී. බෙල් මහතාට දැණුම් දෙමින් කළ නියෝගය ප්‍රකාර 1906 ජනවාරි සම 08 වන දින මේ ස්ථානයට පැමිණි බෙල් මහතා පූර්ණ පරීක්ෂණයක් කර වාර්තාවක් සපයා ඇති බව ඉතිහාස ගත තොරතුරු වලින් කියැවේ. ඉන් පසු ක්‍රි.ව.1914 දී ඊ. ආර්. අයර්ටන් කොමසාරිස්වරයා මේ ස්ථානය පරීක්ෂා කර ඇතත් ඔහුගේ රුහුණේ සංචාරය කරන අතරතුර නෑමට ගිය අවස්ථාවේ දී තිස්සමහාරාම වැවේ ගිලී මියගියෙන් ඔහුගේ පරීක්ෂණයේ තොරතුරු ද ඒ සමග අතුරුදන් විය.

මේ ස්ථානය පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස ආරක්ෂා කිරීමට විධිවිධාන යොදා ඇත්තේ ක්‍රි.ව.1926 පුරාවිද්‍යා කොමසාරිස් හොවාර්ඩ් මහතාගේ නියමයෙනි. ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වී ඇත්තේ 1947 දී එවකට පුරාවිද්‍යා කොමසාරිස්ධුරය දැරූ ආචාර්ය සෙනරත් පරණවිතාරණ සූරීන්ගේ උපදෙස් අනුවයි. එම ප්‍රතිසංස්කරණයෙන් එහි පැවති පෞරාණික කලාත්මකභාවය හා ඔදවත් බව මතු වී මේ දක්වා නිරුපද්‍රිතව පවතී.

රාම- රාවණා යුධ සමයේ දී රාම කුමරු විසින් විඳින ලද හී සැරය වැදී රාවණා ඇඳ වැටුණ ස්ථානය මෙය බවත් හෙළ රජ දවස ආරක්ෂක ස්ථානයක් ලෙසට ගැණුන මේ ගල් ලෙන මැදින් උමග මාර්ගයක් වැටී ඇති බවත් ඉන් සමහරකි. එමෙන්ම රාමා-සීතා කුමර කුමරියන් පෙම් සුවයෙන් ගත කළ ස්ථානයක් ලෙසට ද ජනවහරේ පවතී.

මේ ස්මාරකය පිහිටි කුඩා කඳු ගැටය මතට ගිය විට සතර දික් භාගයම ඉතාම දැකුම්කළු ලෙස දර්ශනය වේ. දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය මෙන්ම නීල වර්ණ සේලයත් එලු පරිදි මහ සයුර දිස් වේ. අළුයම හිරු නැගෙන විට දෙවිනුවර භූමියට හිරු කිරණ පතිත වන්නේ මේ ස්මාරකයේ ඉදිරිපස දොරටුවේ පාමුල වී විශේෂත්වයකි. එමෙන්ම අවරගිරින් හිරු බැසගෙන යන අවස්ථාවේ දී අවසන් හිරු එළිය පතිත වන්නේ ද මෙහි පසු පස බිත්තියේ පාමුලට වීම ද විස්මිතය.

රෝහණ පුරවරයේ පිහිටි තිස්ස කතරගම ආදී පුද බිම් වන්දනා මාන සඳහා යන දේශීය වන්දනාකාර බැතිමතුන්ට මෙන්ම දෙවිනුවර අසිරිය දැක බලා ගැනීමට යන විදෙස් සංචාරකයින්ට ද මාතර-කතරගම (ඒ-2) මාර්ගයේ දෙවිනුවර නගරයට පැමිණි විට එහි ඇති හෝරා ස්ථම්භය අසළින් වම් පසට ඇති අතුරු මාර්ගය ඔස්සේ කිලෝ මීටර භාගයක් පමණ ගිය තැන මේ ඓතිහාසික පුරාණ ස්මාරකය දැකගත හැක.

විදේශීය සංචාරකයින්ට මඟ පෙන්වන්නන් හා ප්‍රදේශයේ සංචාරක හෝටල්හිමියන්ගේ අවධානය මීට යොමු වීම යුගයේ අවශ්‍යතාවයකි. ඒ ස‍ඳහා දකුණු පළාත් සංචාරක අමාත්‍යංශයේ ද අවශ්‍ය පියවර ගත යුතුව ඇත.