ශක්තිජනක පාන 12ට අඩු දරුවන්ට අවධානම්

සන්ධ්‍යා කරුණාරත්න

වයස අවුරුදු 12 ට අඩු පාසල් දරුවන්ට ශක්ති ජනක පාන වර්ග ලබාදීම කිසිසේත්ම අනුමත නොකරන බව ජාතික විෂවේද තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.

දරුවන්ට ශක්ති ජනක පාන වර්ග ලබාදීම හේතුවෙන් ඔවුන්ගේ හද ගැස්ම වැඩි විය හැකි බවත් එමඟින් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකි බවත් ඒ මහතා පැවැසුවේය.

මේ ශක්ති ජනක පාන වර්ගයන්හි කැෆේන් ඇතුළු සිරුරට අහිතකර වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ළමා සුරැකුම් සතිය ඊයේ (28) සිට ලබන මස 04 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (28) ප්‍රකාශ කළේය.

පිහිනුම් ක්‍රීඩාව ඇතුළු වෙනත් ක්‍රීඩා සිදු කිරීමට ශක්තිය ලබා ගැනීම සඳහා ශක්ති ජනක පාන වර්ග භාවිතා කිරීමට දරුවන් පෙළඹෙන බවත් ඒ සඳහා ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහාය ලැබීම ඉතා අනතුරුදායක බවත් වෛද්‍ය ගුණතිලක මහතා අවධාරණය කළේය.

ක්‍රීඩා දක්ෂකම් වර්ධනය කර ගැනීමේ අරමුණෙන් වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ශක්ති ජනක පාන වර්ග ලබාදීමෙන් වැළකිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

පාසල් දරුවන්ට ශක්ති ජනක පාන වර්ග ලබාදීම සඳහා අනුග්‍රහය නොදක්වන ලෙස සියලු ක්‍රීඩා පුහුණුකරුවන්ගෙන් කොළඹ ජාතික රෝහලේ ජාතික විෂවේද මධ්‍යස්ථානය ඉල්ලීමක් සිදු කරන බව ද ඒ මහතා කීය.

දරුවන්ට සිදු විය හැකි අනතුරු එමඟින් වළක්වා ගත හැකි බවත් ක්‍රීඩාවන් සඳහා දරුවන්ට පවතින දක්ෂතාවන් වර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් ඔවුන් පුහුණු කළ යුතු බවත් ඔහු පැවැසීය