ශ්‍රී ලංකාවෙන් දේශීය යාන්ත්‍රණයක් ගැන යෝජනාවක්

Ranil_PM

යුද සමයේදී මනුෂ්‍යත්වයට එරෙහි සිදුවීම් සිදුවී ඇත්තනම් ඒ සම්බන්ධයෙන් විශේෂ දේශීය යාන්ත්‍රණයක් හරහා පරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එක්සත් ජාතීගේ මානව හිමිකම් කොමිසමේ සියලු රටවල සහාය ලැබෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එසේම මෙම පරීක්ෂණ හරහා ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බිල්ලට දීමක් සිදු නොවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමට අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේදී අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක්, ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ නීති කවුන්සලයක් සහ සත්‍ය සෙවීමේ කොමිසමක් යන කොටස් තුන මූලික කරගෙන මෙම යෝජනාවලිය සකස් වී තිබෙන බවද මෙහිදී අනාවරණය විය. විශේෂයෙන්ම සත්‍ය සෙවීමේ කොමිසම අපේම රටේ හැඩයක් සහිත බවද එය කාරුණික සභාව සහ සත්‍යය සෙවීමේ කොමිසම ලෙස කොටස් දෙකකින් ක්‍රියාත්මක වන බවද අග්‍රමාත්‍යවරයා  පැවසීය. කාරුණික සභාව නියෝජනය කරන්නේ ආගමික නායකයන් විසින් නම් කරන පූජ්‍ය පක්ෂය වන අතර මෙහිදී මෙරට සියලු ආගමික නායකයන්ට විශාල කාර්යයක් පැවරෙන බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී පැවසීය.

යුද්ධයෙන් පසුව යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු යැයි පළමුවෙන්ම පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු ජාත්‍යන්තරට වූ පොරොන්දු ඉටු නොකිරීම වර්තමානයේදී මෙය විශාල ගැටලුවක් වීමට හේතුව වී ඇති බවද  අග්‍රමාත්‍යවරයා මෙහිදී මතක් කර දුන්නේය.

“යුද්ධයෙන් පස්සේ  අපි පොරොන්දු වූ දේ කළේ නෑ.  විශේෂයෙන්ම අපේ උගත් පාඩම් කොමිෂන් වාර්තාවවත් අපි ක්‍රියාත්මක කළේ නෑ. මේ නිසා තමයි ලංකාව පිළිබඳ යෝජනා දෙකක් ඇමෙරිකාව ගෙනාවේ. අපි දීලා තිබුණු පොරොන්දු වල හැටියට මේ අවුරුද්දේ මාර්තු මාසයේ අපි පොරොන්දු වූ දේවල් කරලා තියෙන්න තිබුණා. ඒත් ඒ කිසිවක් අපි කරලා තිබුණෙ නෑ. එහෙම වුණා නම් අපට සම්බාධක දමල අපි විශාල අර්බුදයකට යන්න තිබුණා.

මෛත්‍රී ජනාධිපතිවරයා පත්වූවාට පසුව අපි මේ ප්‍රශ්නය විසඳන්න කල් ඉල්ලුවා. ඒකට අවසර ලැබුණා. හැබැයි සැප්තැම්බර්වලින් පසුව මෙය කල් අදින්නේ නෑ කියලා දෙපාර්ශවයම එකඟ වුණා. අපි මෙවර අපේ යෝජනාවලිය ගෙනාවා.

මේ යෝජනාවලිය හරහා අපි එක පැත්තකින් ප්‍රජාතනත්‍ර ව්‍යූහය ශක්තිමත් කරනවා. අනෙක් අතින් දේශීය අධිකරණයක් යටතේ මෙය කරන්න අපි යෝජනා කරලා තියනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ඒවා ගැන විභාග කරන්න විශේෂ නීති කවුන්සලයක්, සත්‍ය සෙවීමේ කොමිසම තුළින් අපි මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා.

මේවා ගැන අලුත් නීති අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි නීති කවුන්සලය ගෙනෙන්නේ. ඔවුන් තමයි පරීක්ෂණ අවශ්‍යද නැද්ද කියලා තීරණය කරන්නේ. නීති කවුන්සලයට පත් කරන්නේ කවුද කියලා අපි පස්සේ තීරණය කරනවා. මේ ගැන විශේෂඥ උපදෙස් අවශ්‍ය නම් අපි ඒවා ඉදිරියේදී ලබා ගන්නවා. එහෙත් මෙය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට සම්බන්ධ එකක්. විදේශ නියෝජිතයන් මෙයට සහභාගිවන ආකාරය තීරණය කරන්නේ අපි.

අද ඇති කරන සත්‍ය කොමිසම අපේම දෙයක්. එය කොටස් දෙකකින් සමන්විතයි. එකක් කාරුණික සභාව,අනෙක සත්‍ය කොමිසමෙහිදී අපි දකුණු අප්‍රිකාවේ ක්‍රමය බැලුවා. මේ අනුව කාරුණික සභාව පත් කරලා සත්‍ය කොමිසමට ආගමික නායකයන් ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. එය දැනට සාකච්ඡා කරගෙන යනවා. මේ රටේ ආගමික නායකයන්ට විශාල කාර්යයක් මෙහිදී පැවරෙනවා.

මෙය මුළුමනින්ම අපේ යෝජනාවක්. ඇමෙරිකාවේ යෝජනාවක් නෙවෙයි. අනෙක් අයගේ දෙයක් අපි ක්‍රියාත්මක කරනවා නොවෙයි. ලබන 30 වැනිදා සියලුම රටවල්වල සහයෝගය මේ සඳහා ලැබෙයි කියලා අපි හිතනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙහිදී උතුරු නැගෙනහිර හමුදා ඉවත් කිරීමක් සිදුවන්නේද? හිටපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බිල්ලට දීමක් සිදුවන්නේද යන්න පිළිබඳව පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා,

“මේ යෝජනාව හරහා උතුරු නැගෙනහිර හමුදා ඉවත් කිරීමක් සිදුවන්නේ නෑ. හමුදාව බිල්ලට දීමක් මෙහිදී සිදුවෙන්නේ නෑ. ඒ වගේම හිටපු ජනාධිපතිතුමයි හිටපු ආරක්ෂක ලේකම්වරයාවයි බිල්ලට දෙන්නෙත් නෑ. ඔවුන්ව විදුලි පුටුවට යවන්නෙ නෑ. මේක හැදුවෙ මංගල සමරවීරයි, විජේදාස රාජපක්ෂයි. දෙන්නම දකුණේ. දකුණේ මිනිස්සු දකුණට අදිනවා. ඒ දෙන්නව මේ දෙන්නා බේරලා දුන්නා. අනෙක් අතින් මෙය අපේ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූලව සිදුවන දෙයක් බව අමතක නොකළ යුතුයි” යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මේ යෝජනා සම්බන්ධයෙන් විවිධ අර්ථ කථන තිබෙන්න පුළුවන්. චෝදනා කරන පිරිස කියන්නේ අපි රණවිරුවන්ට විරුද්ධ වෙනවා කියලා. එහෙත් ඇමරිකාව මෙයට පෙර ඉදිරිපත් කළ යෝජනාවලියේ පැහැදිලිව දක්වා තිබෙනවා මෙය යුද්ධය ගැන නෙවෙයි කියන්නේ. යුද්ධයට සහභාගී නොවුණ පිරිසට සිදුවූ අඩන්තේට්ටම්.

සිවිල් වැසියන්, දේශපානඥයන්, මාධ්‍යවේදීන්ට සිදුවූ අකටයුතුකම් ගැනයි. අනෙක් චෝදනාව ලිංගික අපරාධ. කැරැල්ලක් මර්දනය කරන්න ස්ත්‍රීන් දූෂණය කරන්න අවශ්‍ය නෑනෙ.  අනෙක් අතින් නිතර කියන දෙයක් තමයි විදේශීය කුමන්ත්‍රණයක් කියනවා. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි යුද අපරාධ සොයන්න  යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා මුලින්ම කිව්වේ.. එයින් පස්සේ අපි විවිධ අවස්ථාවල පොරොන්දු වූණා. එය ඉටු කළේ නෑ.මේ නිසා තමයි වර්තමාන තත්ත්වය ඇති වෙන්නේ. මෙවර අපට ලැබිලා තියෙන්නේ අවසන් අවස්ථාවයි.” යැයි පැවසීය.

ranil-wickremasinghe(2)