ශ්‍රී ලංකාව සිවුවැනි තැන නවතී

දකුණු කොරියාව හමුවේ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 27-0ක පරාජයක් ලැබීම මත ආසියානු සත් සාමාජික රගර් තරග ඉතිහාසයේ පළමුවරට කුසලාන වටයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවී කරගත් ශ්‍රී ලංකා පිල ඊයේ තායිලන්තයේ නොන්තබුරි නුවර එස්.සී.ජී. ක්‍රීඩාංගණයේ නිමාවට පත්වූ තායිලන්ත සෙවන්ස් රගර් තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා පසුගිය වසරේ ශූරයන් වන හොංකොං පිල සමග පැවැති තරගයෙන් ලකුණු 33-7ක පරාජයක් ලබා සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් එම තරගයේ වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ අනුරුද්ධ විල්වර විසිනි.

මෙවර තරගමාලාවේ පළමු අදියර ලෙස චීනයේ පැවැති තරගාවලියේ ද ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත්වූයේ දකුණු කොරියාව හමුවේ පරාජයට පත්වෙමිනි.

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ දෙවැනි අදියර ලෙස පැවැති මේ තරගාවලියේ ශ්‍රී ලංකාව කුසලාන වටයේ අවසන් පූර්ව වටයට එක්වූයේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී චීනයට එරෙහිව ලකුණු 14-7ක ජයක් අත්කර ගැනීමෙනි. නායක ෆාසිල් මරිජා සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ මං විවර කළහ. මෙවර තරගාවලියේ දී හොංකොං පිලට තුන්වැනි ස්ථානය සඳහා වූ තරගයට එක්වීමට සිදුවූයේ අවසන් පූර්ව වටයේදී ජපානය හමුවේ ලකුණු 24-19කින් පරාජයට පත්වීම හේතුවෙනි.

තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා ‘බී’ කාණ්ඩය යටතේ මූලික තරග වටයට එක්වූ ශ්‍රී ලංකා පිල චීන තායිපේ පිලට එරෙහිව ලකුණු 36-0ක විශිෂ්ට ජයක් අත්කර ගත් අතර දෙවැනි තරගයේ දී හොංකොං පිල හමුවේ ලකුණු 14-33කින් පරාජයට පත්විය.

ආසියානු සත් සාමාජික රගර් තරග බිමේ සිවුවැන්නා ලෙස තායිලන්ත තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව සිය පළමු තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් සෙසු කණ්ඩායම්වල වැඩි අවධානයට ලක්වූ එකකි. එහි දී සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක නිරතවීම කැපී පෙනුණි. එම තරගයේ දී නයිජල් රත්වත්ත උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළ අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ගයාන් වීරරත්න, රිචඩ් ධර්මපාල සහ සුදර්ශන මුතුතන්ත්‍රී උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ.

එහෙත් හොංකොං පිල සමග පැවැති දෙවැනි තරගයේ දි සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් අසමත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් වෙතින් දුර්වලතා රැසක්ම සිදුවූ අතර පළමු භාගයේදී හොංකොං පිල ලැබූ ගෝලයට පිළිතුරු වශයෙන් ගයාන් වීරරත්න තැබූ සාර්ථක උත්සාහක දිනුම නායක ෆාසිල් මරිජා ගෝලයක් බවට පත්කිරීමෙන් ලකුණු 7-7ක් ලෙස සම තත්ත්වයක පසුවූවත් දෙවැනි භාගයේ දී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමෙන් හොංකොං පිල පරාජය කිරීමට තිබූ අනගි අවස්ථාව අහිමි වී ගියේය. දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා පිල වෙතින් සිදුවූ දුර්වලතා හේතුවෙන් වාසිය ලද හොංකොං පිල උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරද්දී ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ නායක මරිජා රැස් කළ උත්සාහක දිනුම පමණි.

කුසලාන වටයේ අවසන් මහා තරගයේ දී දකුණු කොරියාව ලකුණු 45-7කින් පරදවා කුසලානය දිනාගැනීමට ජපානය සමත්වූ අතර පළඟ ශූරතාව දිනාගනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලකුණු 26-5ක ජයක් වාර්තා කළ චීනය විසිනි. පිලිපීනය ලකුණු 24-19කින් පරාජය කළ තායිලන්තයට බඳුන ශූරතාව හිමිවිය.

අදියර තුනකින් සමන්විත මෙවර තරගමාලාවේ අවසන් අදියර ලබන මස 10 සහ 11 දෙදින කොළඹ දී පැවැත්වීමට නියමිතය.