ශ්‍රී ලන්කන් – තවත් කෝටි 13 ක පාඩුවක් – ඇමැති රවි කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමගමේ පසුගිය වසරේ පාඩුව රුපියල් කෝටි 13200ක් බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අන්දමේ දැවැන්ත පාඩු රජයට දරා ගත නොහැකි ඒවා බව පෙන්වා දුන් මුදල් ඇමැතිවරයා මෙවැනි දේ යළි ඇති නොවන ආකාරයට ගුවන් සේවාවේ පාලනය මූල්‍ය කළමනාකාරීත්වය වැඩිදියුණු කිරීමට රජය කටයුතු කරන බව ද කීය.

මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කරගත් වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනයේ 50වැනි සංවත්සරය සැමැරීමට මෙරටට පැමිණි එහි සභාපතිනි මේරියන් මැඩ්න් මහත්මිය ඊයේ (28) උදේ මුදල් අමාත්‍යාංශයේ දී මුදල් ඇමැතිවරයා හමු විය. ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ විශේෂ ප්‍රකාශයක් කිරීමට අපි සූදානම්. ලෝකයේ වත්මන් ආර්ථික ප්‍රවණතා ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ගැනත් එහි දී අපි අනාවරණ කරන්න සූදානම්.

ලෝකයේ කොහොම වුණත් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි අපේ වගකීම වෙන්නේ.

ආර්ථික විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා මේ තත්ත්වයන් ගැන.

ඒ වගේම මම ඉල්ලීමක් කරන්න කැමැතියි ලබන නොවැම්බර් මස 20වැනි දා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන රජයේ අය වැය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන්න කියල.

ඒ හැම දෙයක් ගැන ම සාකච්චා කරල හොඳ දේවල් ඇතුළත් කරන්න අපි සූදානම්.

බංකොලොත් වෙලා ඉන්න විපක්ෂය ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කරනවා ඇතැම් ආයතන පෞද්ගලීකරණය කරන්න යනව කියල.

අපට කියන්න තියෙන්නෙ පෞද්ගලිකකරණය කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරල තියෙනවා කියන එක.

අපට අවශ්‍යයි ඇතැම් රාජ්‍ය ආයතන නිසි කළමනාකාරීත්වයකට යටත් කරන්න. ඒක කිසිසේත්ම රජය සතු අයිතිය නැති කිරීමක් ‍නොවන බව මම වගකීමෙන් කියන්න කැමැතියි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පසුගිය වසරේ පාඩුව පමණක් රුපියල් කෝටි 13200යි.

ඒක දැන් නිවැරැදි කරන්න අප කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ ගැනත් හොයන්න අපි සූදානම්.

අද පෞද්ගලිකකරණය ගැන කතා කරන විපක්ෂයේ ඉන්න අය තමයි එදා මේ රටේම ඉඩම් විදේශිකයන්ට එක එක විදියට විකුණන්න උත්සහ කළේ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය