සක්කරයව ගිහින් මීට් වෙලා දිව්‍යාංගනාවක් හොයා ගන්න. මම එන්නම් දෙවැනි මනමාලිට

ලස්සන සැමදේ මොහොතක සුව‍දේ…. එහි කෙළවර දුකදේ…

පසුගිය කලාප දෙකක තනි යහනේ දිවි ගෙවනා ජනකාන්ත නිළියකගේ තොරතුරු විග්‍රහයේදී මෙම ගී කාණ්ඩය මුලින් ම යෙදුවා ඔබට මතක ඇතැයි සිතමි. එහෙත් අද මා මේ කතා බහට ලක් කරන නිළිය ඊට සහමුලින්ම වෙනස් ස්වරූපයක් ගත් යොවුන් ඉතාමත් රූමත් ජනප්‍රිය නිළියකි.

යන විට පාරේ උකුල නටන තාලේ – ලස්සන කෙසේ වනම්දෝ…

යෞවන කාලේ අඟර දඟර පෑවේ – ඇස් දෙක වශී නොවේදෝ…

මෙලෙස ඇය දෙස ආදරයෙන් නෙත් හෙළූ කී දෙනෙක් නම් සිතන්නට ඇත්ද…?

සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ… ඒ නම ආදරේ….

ඇගේ හද පතා හදවත් කීයක් එසේ හදවතින් අයදින්නට ඇත්ද…?

එහෙත් රස ඉතිරෙන යෞවනත්වයේ පසුවන ඉතා පැහැපත් රූමත් ඇය තවමත් අවිවාහකව දිවි ගෙවන්නීය.

“බඳින්නේ නැද්ද කවදාවත්….?”

මා ඇසූ විට ඇය ලස්සන දසන් දක්වා මිහිරි ලෙස සිනාසුණාය. මෙම ආකර්ෂණීය සිනාව යොවුන් සිත් සතන් වසඟ කරනා සුලුය.

එහෙත් එහෙත්…. යමෙකුගේ දෛවය ඉරණම යනු මහා පුදුමාකාර දෙයකි. දෙන දෙවියෝ සියල්ල දෙපා මුලට ම ගෙනවිත් දුන්නද ජීවිතයට අත්‍යවශ්‍ය දේ ගව් ගණනක් ඈතින් ඈතට රැගෙන යන්නේය.

“ඔයාටත් එහෙමද?”

“වෙන්න පුළුවන්”

“ඒ කියන්නේ කවදාවත් බඳින්නෙ නෑ.”

“දැනට නම් එහෙම තමයි හිතන් ඉන්නේ.”

ඇය ඔබේ ආදරය දිනූ ලස්සන මලක් වන් උදයන්ති කුලතුංගය.

ඇත්තට ම ඇයි උදයන්ති කුලතුංගට සදහට ම අවිවාහකව සිටීමට තරම් වූ සිතුවිල්ලක් දැනට පහළ වී ඇත්තේ? ඇය වැනි යොවුන් ජනප්‍රිය රූමත් නිළියකගේ අත ගන්න කෙතෙක් නම් සිහින මවනවා ඇත්ද? එහෙත් එහෙත්

“උදයන්ති ආදරයට කැමැති නෑ….?”

ඇය උපහාසාත්මක ලෙස සිනාවක් පෑවාය.

“කවුද දෙවියනේ මේ ලෝකේ ආදරයට කැමැති නැති කෙනෙක් ඉන්නේ.”

“එතකොට ආදරය කරලම නෑ?”

“කවුද දෙවියනේ මේ තරුණ වයසට ආදරය නොකළ කෙල්ලෙක් ඉන්නේ.”

“ඇත්ත ඇත්ත. උදයන්ති හරි ලස්සනයිනේ කියලා නැද්ද කවුරුත් ඔයා මාර ලස්සනයි කියලා.”

“ඒක නේන්නම් මාර වැඩක් වෙලා තියෙන්නේ. ආදරය කරන්න යෝජනා ගෙනෙන ගොඩක් අයගේ හිතේ තියෙන්නේ මගේ ලස්සන ගැන. මගේ රූපය ගැන. රූපයට පමණක් වසඟ වන කෙනෙකු තුළ ආදරයක් නැති බව මගේ විශ්වාසය.”

උදයන්ති කුලතුංග ජන්ම ලාභය ලැබුවේ අවිස්සාවේල්ලේදීය. එහෙත් එය ඇයගේ ගම නොවේ. උදයන්ති නිලූෂිකා කුලතුංග නම් වූ ඇයගේ මවගේ ගම අනුරාධපුරයේය. අනුරාධපුරේ සොඳුරු ගැමි පෙදෙසක් වූ තඹුත්තේගම ඇගේ ගමය. තාත්තා අත්තනගල්ලේ නිට්ටඹුවේය. ඔහු එකල පොලිස් නිලධාරියෙකි. එබැවින් ඔවුන්ගේ පවුලට වරින් වර එක් එක් පළාත්වල පදිංචියට යෑමට සිදුවිය. එම චාරිකාව අතරතුර ගම්පහ අවුරුදු කුමාරි තරගයක් ස්වාධීන රූපවාහිනි සේවය විසින් සංවිධානය කරන ලදී. එහිදි ගම්පහ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ උදයන්තිය. ITN උසස් නිලධාරියකු වන උපාලි රංජිත ප්‍රධානව එය මෙහෙයවනු ලැබීය.

දෛවය අපූරු අපූරු දේවල් සිදු කරනා බව මම නිතර සඳහන් කරන්නෙමි. එය සත්‍යයක්මය. මේ මොහොතේ තනි යහනේ දිවි ගෙවන උදයන්ති කුලතුංගගේ මෙම ලිපිය සඳහා මා අබියස කතා කරන ඇයට නිළියක වීමට මඟ පාදා දුන්නේ මා බව මා දැන ගත්තේ හා හා පුරා කියා අදය. එය පැසවුවේ ද ඇයයි.

“මට නිළියක වෙන්න මුලින් ම මඟ පාදා දුන්නේ ඔයයි අර්නස්ට් අයියේ” උදයන්ති අතීතය සිහි කරමින් පැවසුවාය.

මා ප්‍රධාන කර්තෘ ධුරය දැරූ අතිශයින් ම ජනප්‍රිය ‘සුවඳ’ පුවත්ප‍ෙත් පිටකවරය සැරසීමට උදයන්ති කුලතුංග නම් වූ ගම්පහ අවුරුදු කුමරියගේ ඡායාරූප ගැනීම පිණිස අපේ දක්ෂතම ඡායාරූප ශිල්පියෙකු වන ඉන්දික මල්ලවආරච්චි මම පිටත් කර ඇරියෙමි. ඉන්දික විසින් ගනු ලැබූ එම මනරම් පිටකවරය පළවීමෙන් පසු, එය ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්ගේ නෙත ගැටීමෙන් උදයන්තිට ඔහුගේ “තරු කුමරි” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑමේ වරම් ලැබුණි. දක්ෂ නළුවෙකු වන සරත් කරුණාරත්න ඇගේ මුල්ම පෙම්වතා විය.

“ඒ පුංචි තිරයෙනි. එතකොට හදවතේ මුල්ම පෙම්වතා වුණේ කවුද? ෆස්ට් ලව් බොහොම සුන්දරයිනේ.”

ඇය මඳක් කල්පනාවකට යොමු වූවාය. විවිධ ඉරියව් මැවෙන ඇගේ මුහු‍ණ නිළියකට ඉතාම උචිත නොවේ දැයි කියා මට සිතුණි.

“මම මුලින් අධ්‍යාපන ලැබූ විදුහලක් අනුරාධපුරයේ “නිවන්තක චේතිය විද්‍යාලය. ඒක මිශ්‍ර පාසලක්. එහෙ මං ඕ ලෙවල් කරද්දි පාසලේ ශිෂ්‍ය නායකයා මට මුලින් ම ලව් කරන්න ගත්තා. ඔහු කළුම කළුයි. උසයි. හරි හැන්ඩි. ඒ වගේ චණ්ඩියා. අනෙක ශිෂ්‍ය නායකයානේ. මුලින් මුලින් මිහිරි හිනාවක් පාමින් ‘ගුඩ් මෝනින්’ කියන්න පුරුදු වුණා. කතාවක් නෑ. පස්සේ පස්සේ ලයිබ්‍රියේදී අපි මීට් වෙන්න ගත්තා. එයා මම ළඟම පුටුවේ වාඩි වෙනවා.’

“හරි ලස්සනයි උදයන්ති මේ නවල් එක කියවලා බලන්නකෝ. ඔහු මට පොතක් දුන්නා. ඒකේ ඇතුළේ ලියුමක්. ලියුම පුරාම නිසදැස් කවි. හරි ලස්සනයි. දුක හිතෙන කවි. ආදරය උතුරා යන තරම්. ඒ එක්කම සින්දු කෑලිත් ලියනවා.”

හිතක තිබෙන ආදරය ඔබ තව දන්නේ නෑ…
කියා ගන්න බෑ ලිව්වට ඉවර වෙන්නේ නෑ…
අහස් දිලෙන තාරකා ගැනලා ගන්න බෑ…
කියා ගන්න බෑ පොළවේ වැලි මනින්න බෑ…

ජෝතිපාලගේ ගීයක කොටසක් එසේ ලියා මගේ රූපයේ හැඩය අනුව චිත්‍රයක් ද ඇඳලා තිබ්බා. කෙමෙන් කෙමෙන් එයාට මගේ හිතත් ගියා. නම හරේන්ද්‍ර. හරේන්ද්‍ර මට පුදුම විදියට ලව් කරන්න ගත්තා.

“පස්සේ තවත් කොල්ලෙක් මට ලව් කරන්න ගත්තා. මේවා ඉස්කෝලේ පැතිරෙන්න ගත්තා. මට ලව් කරන කොල්ලෝ දෙන්නා අතර රණ්ඩු සරුවල් ඇතිවුණා. පස්සේ පස්සේ මම ඒ දෙන්නගෙන් ම ඈත් වුණා.”

උදයන්තිගේ ප්‍රථම ප්‍රේමය ත්‍රිකෝණ ප්‍රේම සම්බන්ධයකි. එය එතැනින් ම නිමාවට පත්විය.

එහෙත් ලස්සන මලකට ආකර්ෂණය වෙනුයේ එක රන් සමනලයෙක් පමණක් ද? මලක් වන් හැඩකාර උදයන්තිගේ ආදරය ලබා ගැනීමට විවිධ සමනලුන් තැත් නොකළා නොවේ. ඔවුන් අතර ප්‍රකට දේශපාලන චරිත, ප්‍රකට දේශපාලනඥයන්ගේ පවුල්වල සමීපතමයෝ, මන්ත්‍රීවරු, නගරාධිපතිවරයෙකුගේ කඩවසම් පුත්‍රයෝ පමණක් නොව ජනකාන්ත නළුවෝ ද වූහ. ඉන් දෙතුන් දෙනෙකු කෙරෙහි උදයන්තිගේ රස ඉතිරෙන යොවුන් සිත ආකර්ෂණය නොවූවා නොවේ.

එහෙත් ප්‍රේමයට කොහෙදෝ බාධා නැත්තේ යන කියමන සනාථ කරමින් මෙම ඇතැම් ප්‍රේම සම්බන්ධතා ඉතිරි කළේ ප්‍රේමයේ වියෝ වේදනා පමණි.

මුහුදු කරයේ ප්‍රකට නගරයක නගරාධිපතිවරයකුගේ කඩවසම් තරුණ පුත්‍රයෙකු කෙරෙහි උදයන්තිගේ හදවත ද ඇදී නොගියා නොවේ. ඇත්තෙන් ම මුළු හදින් ම ඇයට පෙම් කළා විය යුතුය. ඔහු ඇයගේ මන රූ සපුවට මහත් සේ ආදරය වුවද එපමණකට ම නොව ඇගේ යහපත් ගතිගුණ ද සිත් ගත්තේය. උදයන්ති ප්‍රිය කළ ගුණාංග ඔහු වෙතින් දකින්නට ලැබුණි.

“අනේ මගේ සුදු චූටි රත්තරං පැටියෝ මට මේ ලෝකෙන් ම වඩා වටින්නේ ඔයා. මගේ සූකිරි පැටියෝ. අපි බැඳලා ලස්සන ම ලස්සන දිව්‍ය ලෝකයකට ගිහින් ජීවත් වෙමු මගේ ස්විටියෝ….” මෙවන් බොළඳ කතා මුමුනන ළාමක බොළඳ පෙම්වතුන් නම් ඇගේ පාසල් අවදිය් සිටම උදයන්ති ප්‍රිය කළේ නැත.

“ලස්සන දිව්‍ය ලෝකයක ද ජීවත් වෙන්න ඔහේට ඕන. මම කියන්නද වැඩක්. යන්න සක්කරයව ගිහින් මීට් වෙලා දිව්‍යාංගනාවක් හොයා ගන්න. මම එන්නම් දෙවැනි මනමාලිට හරි.”

ඇය එවන් එක්තරා බොළඳ පෙම්වතකුට දුන් පිළිතුර එයයි. එහෙත් නගරාධිපති පුතා ඇය ප්‍රිය කළ අන්දමේ උගත්, එමෙන් ම ජීවිතය දෙස ගැඹුරු දැක්මක් ඇති ප්‍රියමනාප තරුණයෙකි. ඔහු තම පෙම්වතියට නිසි ගෞරවය ලබා දීමට ද මැලි නොවීය. එය ද ඇගේ සිත් ගන්නා සුලු ලක්ෂණයකි.

ඇයට ඔහු මුණ ගැසුණේ මහරගම පිහිටි රෙදිපිළි සාප්පුවකදීය.

“මිස් මොනවද ගන්නේ? ගන්න ඕනම දෙයක්. ඔයාට හැඩයිනේ මේ ගවුම.” කඩවසම් තරුණයෙක් ඇය ළඟට විත් ළයාදරව පැවසුවේය.

“මේ බලහල්ලකෝ ඔයාද දන්නේ මට හැඩ දේවල්…” යනුවෙන් ඇසීමට ඇයට සිතුනද ඔහු වෙතින් විරාජමාන වූ වැදගත් පෙනුම මෙම අදහස මැඬ පැවැත්වීය. සාප්පුවේ සේවක සේවිකාවන් ඔහුට ගෞරව පූර්වකව අමතනු ඇයට අසුණි.

  උදයන්ති කුලතුංග