56 පංච මහා බලවේගයෙන් රට නව මඟක

වාර්ෂිකව සැප්තැම්බර් 26 දින අපි සැවොම මේ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලට රැස්වෙන්නේ අත්තනගල්ලට හොරගොල්ලට, අපේ රටට පමණක් නොව විශ්ව කීර්තියට පත් ශ්‍රේෂ්ඨ පවුලක ජනනායකයෙක් ඇතුළු එම පවුලේ අය ද සිහිපත් කිරීමට යැයි අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 56 වැනි ගුණානුස්මරණ උත්සවයේ අනුශාසනාවක් කරමිනි.

මෙම ගුණානුස්මරණ උත්සවය 26 දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ඇගේ සොයුරිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් අතිපූජ්‍ය මහා සංඝරත්නය පෙරටුකොටගෙන, එම අනුශාසනා පරිදි හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලදී 26 දින පෙරවරුවේ පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ “දිවංගත බණ්ඩාරනායක මහතා 1956 පංච මහා බලවේගයේ එකතුවෙන් මේ රට ඉදිරියට ගෙන ඒමේ අඩිතාලම දැම්මා. ඒ අනුව රට දියුණුවට අවශ්‍ය යෝජනා ක්‍රියාත්මක කළා. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා, මෙරටට පැමිණි එතුමා රට ජාතිය වෙනුවෙන් සේවය සඳහා දේශපාලනයට පිවිස, මේ රට නවමඟකට යොමුකිරීමේ අඩිතාලම දැම්මා. රට ජාතිය, වෙනුවෙන් තම ධනය, වතුපිටි, දේපළ පමණක් නොව බුද්ධියද ලබාදුන් මේ අසහාය ලංකා පුත්‍රයා අවසානයේ තම ජීවිතයද පූජා කළා.

ven-kotugoda-thero1ඒ ශ්‍රේෂ්ඨ ජනනායකයාගෙන් ඉටුවිය යුතුව තිබූ එම සේවය ඉටු කිරීමට ජනතාවගේ අපේක්ෂාව වූයේ ශ්‍රේෂ්ඨ නායකයාගේ දයාබර මැතිනිය යොදවා ගැනීමටයි. ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට වෙනුවෙන් ඉදිරිපත්වී ජාත්‍යන්තරයේ ද හොඳ හිත ලබා ගනිමින් කටයුතු කළා. එතුමිය ඉන්දියාව සමඟ ඉතා සුහදව කටයුතු කරමින් “කච්චතිවු” දූපත පවා නැවත අපේ උරුමයට ලබා ගැනීමට කටයුතු කළ බවත් පැවසූහ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පියාගේත්, මවගේත් මඟ යමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය බවට පත්ව ඉතා විශිෂ්ට සේවාවක් කර විශ්‍රාම ලැබූවත්, ඇය විශ්‍රාම ගියද, රට, ජාතිය, ආගම, වෙනුවෙන් අද දවසේ ද ඉතා විශිෂ්ට සේවාවක් කරන බවද පැවසූහ. දිවංගත අනුර බණ්ඩාරානායක මහතා ද, තම දෙමාපිය ඇසුරින් රට ජාතිය වෙනුවෙන් සේවයට එක්වී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක තනතුරට පවා පත්ව අමිල සේවයක් කළ අයෙකු බවද පැවසූහ.

දිවංගත ඒ ශ්‍රේෂ්ඨයින් තිදෙනාම වෙනුවෙන් අද පින්පෙත් ලබාදී නිවන්සුව ප්‍රාර්ථනා කරන අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන්ව රටවැසියන් වෙනුවෙන් තව තවත් සේවය කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ආශිර්වාද කරමි යැයිද පැවසූහ.

ගුණානුස්මරණ උත්සවයේ පැමිණ සිටි පිරිස පන්සිල් හි පිහිටුවීම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් විසින් සිදුකළ අතර මෙම අවස්ථාවට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණාධ්‍යක්ෂ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නැදගමුවේ විජය මෛත්‍රී හිමි, අත්තනගල්ල රජමහා විහාරාධිපති සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්ද නාහිමි, ගම්පහ සාම විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි හිමි ඇතුළු ත්‍රෛනිකායික ප්‍රධාන නිල හොබවන ස්වාමීන් වහන්සේලා වැඩම කර සිටියහ. කිතුනු, හින්දු සහ මුස්ලිම් ආගමික නායක පූජකවරුද පැමිණ සිටියහ.

ගුණසමරු උත්සවයේදී ප්‍රථමයෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ ඇගේ සොහොයුරිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, කථානායක කරු ජයසූරිය මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමා ඇතුළු රජයේ මැති ඇමතිවරුද, ඥාතීන්ද පුෂ්පෝපහාර දැක්වූහ.

මෙම ගුණසමරු උත්සවයට සමගාමීව පෙරවරු 10.00යට බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ වරාය සහ නාවුක අැමැති අර්ජුන රණතුංග මහතා සහභාගි වූ තිහාරියේ ඉස්ලාමීය ආබාධිතයන්ගේ ආයතනයේ පැවති බණ්ඩාරනායක ගුණසමරු උත්සවයක්ද විය.

තිහාරියේ ඉස්ලාමීය ආබාධිතයන්ගේ ආයතනයේ පැවැත්වුණු ආබාධිතයන්ට පොත්පත්, ආහාරද්‍රව්‍ය, කාර්මික උපකරණ, මහන මැෂින්, රෝද පුටු ප්‍රදානයට එක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අදහස් දක්වමින් “වසර තිහක් තිස්සේ තිහාරියේ ෙම් මුස්ලිම් ආයතනය දිවංගත බණ්ඩාරනායක මැතිඳුන් සිහිපත් කර උත්සවය නොකඩවාම පවත්වනවා.

මෙහි විශේෂත්වය මුස්ලිම් ප්‍රජාව අපේ රටේ සිංහල බෞද්ධ නායකයන් සිහිපත් කර මෙවැනි ආදර්ශමත් උදාර කටයුත්තක් කිරීමයි. දිවංගත මගේ දයාබර පියාණන් මෑණියන් සහ සොයුරා සිහිපත් කර මේ ආයතනය ගුණසමරු උත්සවයක් පවත්වා අඩුආදායම්ලාභීන්ට ආහාර පාර්සල් පමණක් නොව ජීවිතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දායකත්වයක් දෙනවා. එය ඉතා ෙහාඳ කටයුත්තක්. අපි අතීතයේ පටන් සෑම ජන කොටසක් සමඟම සහජීවනයෙන්, සමගියෙන් සිටියා. අද අපි ඔබ සැම සිහිපත් කරමින් බණ්ඩාරනායක මැතිතුමන්ගේ යහපත් ප්‍රතිපත්තිය ඒ උතුම් දර්ශනය ඉදිරියට ගෙන යමින් නව රටක් බිහිකිරීමට අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඉදිරි යුගයේ සියලු භේද ඉවතලා සාමාන්‍ය රටක් ලෙස ලෝකයේ ශ්‍රී ලංකා නාමය රැක ගැනීමට අපි සැවොම එක්වී ක්‍රියාකරමු යැයිද කීවාය.

මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ, මෙම ආයතනය මෙවැනි ගුණසමරු පමණක් නොව, රටේම ආබාධිත දරුවන්ට ජාති, ආගම් භේදයෙන් තොරව සහන ලබාදෙන නිවහනක්, අධ්‍යාපන මධ්‍යස්ථානයක්, කිරීමට ශක්තිය ලැබේවා යන්නයි. දැනට කරන උතුම් සේවය මෙම ආයතනයේ අධ්‍යක්ෂ ජීප් මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට තව තවත් ඉදිරියට ගෙනයාමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. “අස්සලාමු අලෙයිතුම්” යැයි සුබ පැතුවාය. වරාය හා නාවුක ඇමැති අර්ජුන රණතුංග මහතා, අල්හාජ් එම්. හනිපා මහතා ඇතුළු ආයතනයේ ගුරුවරියක්ද අදහස් දැක්වූහ.

ගම්පහ සංචාරක – නිමල් ජයසිංහ

අත්තනගල්ල විශේෂ – සුගතපාල ජයවීර