අඟහරු මත ද්‍රව ජලය

ඉතිහාසයේ පළමු වරට අඟහරු ග‍්‍රහයා මත ද්‍රව ජලය ඇති බවට නාසා ආයතනය විසින් තහවුරු කර ඈත.

නාසාහි මාර්ස් රිකොනායිසන්ස් ඕර්බිටර් යානයෙන් ලැබූ දත්ත භාවිතයෙන් සිදුකළ පර්යේෂණයක් මගින් මෙම නිගමනයට එළඹි බව එම ආයතනය පවසා ඇතැයි වාර්තා වේ.

අගහරු ග‍්‍රහයා මත ගිම්හාන සෘතුවේදී දක්නට ලැබෙන ඉරි වැනි ලකුණු නොඑසේනම් ප‍්‍රත්‍යාවර්ත බෑවුම් ලක්‍ෂණ ඇතිවන්නේ ද්‍රව ජලය ගලායාමෙන් බව මේ අනුව තහවුරු වී තිබේ.

අගහරුගේ නිවර්තන කලාපය වෙතට ඇදෙන මෙම රේඛා සටහන් උෂ්ණත්වය පහත වැටීම සමග අතුරුදන් වේ. ශීත කාන්තාර ග‍්‍රහයකු මත ද්‍රව ජලය ඇතැයි යන නිගමනයට එළඹීම සඳහා අභ්‍යවකාශ යානා ගණනාවක්, වසර ගණනාවක් වැය වූ බව නාසාහි අගහරු ගවේෂණ වැඩසටහනේ ප‍්‍රධාන විද්‍යාඥයකු වන මයිකල් මේයර් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ අගහරු ග‍්‍රහයා පිළිබඳ වැඩිවැඩියෙන් අධ්‍යනය කරත්ම ජීවයට සහය දිය හැකි සම්පත් පිළිබඳව අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවයි.

මීටර් 5ක් පමණ පළලින් යුතු මෙම රේඛා විශ්ලේෂණය කිරීම මින් පෙර දුෂ්කර ක‍්‍රියාවක් වූ නමුත් මාර්ස් රිකොනායිසන්ස් ඔර්බිටර්හි උපකරණ වලින් මිනුම් කළ රේඛා පිහිටුම් හා ජලීය ලවණ ඇති ස්ථාන සැසඳීම මගින් මෙම සටහන් ලවණාධික ද්‍රව ජලය ගලා යාමෙන් ඇතිවූවක් බවට නිගමනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ.