ලංකාවේ ලක්ෂ 25ක් බල්ලෝ

ශ‍්‍රී ලංකාවේ වසරකට සුනඛ සපා කෑම් ලක්‍ෂ 03කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත් මෙරට ජල භීතිකා රෝග මර්දනය උදෙසා වාර්ෂිකව වැය කරන රුපියල් මිලියන 500න් මිලියන 400කට අධික මුදලක් වැය වනුයේ සුනඛ සපා කෑම්වලට ලක්වූ පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා බවත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඞී.ආර්.ටී.ජී. රත්නායක මහතා පවසයි.

ලෝක ජල භීතිකා දිනයට සමගාමීව ”‍එක්ව දුරලමු ජල භීතිකාව”‍ යන තේමාව යටතේ ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා ඒ බැව් කීය.

මේ වනවිට ලංකාවේ සුනඛ ගහනය මිලියන දෙකහමාරකට අධික බව සඳහන් කළ ඒ මහතා මෙම සුනඛ ගහනයෙන් සියයට 50කට පමණ වාර්ෂිකව ජල භීතිකා එන්නත ලබාදෙන බවත් 2020 වසර වනවිට මෙරටින් ජල භීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් මෙම සුනඛ ගහනයෙන් සියයට 70කට හෝ අවම වශයෙන් ජල භීතිකා එන්නත ලබාදිය යුතු බවත් පැවැසීය.

සෑම වසරකම 70,000කට අධික පිරිසක් ලොව පුරා ජල භීතිකාව රෝගයට ගොදුරුව මරණයට පත්වන බවත් ඒ අනුව සෑම මිනිත්තු 10කට වරක් එක් පුද්ගලයකු ජලභීතිකා රෝගය හේතුවෙන් මියයන බවද සඳහන් කළ ඒ මහතා මෙම මරණවලින් සියයට 99ක්ම සිදුවනුයේ ආසියානු හා අප‍්‍රිකා රටවල බවත් ඉන් සියයට 45ක් සාර්ක් කලාපීය රටවල සිදුවන බවත් සඳහන් කළේය.