විගමණික ශ‍්‍රමිකයින් මුහුණ දෙන ගැටළුවලට විදේශ රැකියා ආයතන නිසි පියවර ගත යුතුයි

රැකියා සඳහා විදේශ ගතවන ශ‍්‍රමිකයින්ගේ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ අවධානය යොමු වී තිබේ.

fa0b89a2bd8b3dfeca9fccba18f0651e_L

විගමණික ශ‍්‍රමිකයින් තම සේවා ස්ථානවලදී මුහුණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබාදීමේදී එහි වගකීම රැකියා නියෝජිතායතන වෙත ඇති බැවින්, එහිදී විදේශ රැකියා නියෝජිතායතන තම වගකීම නිසි අයුරින් ඉටු නොකරන අවස්ථා කිහිපයක් නිරීක්‍ෂණය වී තිබීම හේතුවෙන් අමාත්‍යවරිය මෙම තීරණයට එළඹ තිබේ.

එසේම විදේශ රැකියාවේ නිරතවී සිටින තම ඥාතියා පිළිබඳව, පැන නැඟී ඇති යම් ගැටළුවලට විසඳුම් ලබාගැනීම සඳහා රැකියා නියෝජිතායතන වෙත පැමිණෙන එම ශ‍්‍රමිකයින්ගේ ඥාතීන් ඉදිරිපත් කරන ගැටළු සඳහා විසඳුම් ලබා නොදී වගකීම් පැහැර හරින රැකියා ඒජන්සි ආයතන පිළිබඳව පැමිණිලි ලැබී තිබේ. එසේම, ඇතැම් රැකියා ඒජන්සි විසින්, පැමිණිලි කිරීම සඳහා පැමිණෙන ඥාතීන්ට දෝෂාරෝපණය කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව ද තොරතුරු ලැබී තිබේ.

මෙවැනි ආකාරයට කටයුතු කරන රැකියා නියෝජිතායතන පිළිබඳව කාර්යාංශය දැඩි අවධානයකින් පසුවන අතර, එම රැකියා ඒජන්සිවල බලපත‍්‍ර යළි දීර්ඝ කිරීමේදී ඒ පිළිබඳව විමසිලිමත් වන බවද, කාර්යාංශය සඳහන් කරයි.

එසේම යම් ශ‍්‍රමිකයෙකු පිළිබඳව ඥාතීන් ඉදිරිපත් කරන පැමිණිලි කාර්යාංශයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව අදාළ රැකියා නියෝජිතායතන වෙත එම පැමිණිලි ඉදිරිපත් කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගැනීමටද, අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී ඇත. රැකියා නියෝජිතයින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීම ප‍්‍රමාද කළහොත්  ඊට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමටත්, එම රැකියා ආයතනයේ බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට හෝ දීර්ඝ කිරීමේදී මෙම තත්වය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමටද අමාත්‍යවරිය විසින් උපදෙස් ලබාදී තිබේ.

විදේශ රැකියා ක්ෂේත‍්‍රය තුළ යහපාලන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීමේදී, රැකියා නියෝජිතායතනවල සහය ඊට අවශ්‍ය වන අතර, ඒ සඳහා රැකියා නියෝජිතායතන කාර්යාංශයට උපරිම සහය ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද, ඇය වැඩිදුරටත් සඳහන් කර සිටී.

2014 වර්ෂයේදී කාර්යාංශයට පැමිණිලි 7213ක් ලැබී ඇති අතර, ඉන් 6577 කට විසඳුම් ලබාදී තිබේ. මේ අතර, 2014 වර්ෂයේදී වන්දි ලෙස රුපියල් ලක්‍ෂ 206 ක්, මෙරට රැකියා නියෝජිතායතන හා හාම්පුතුන්ගෙන් ලබාගෙන අදාළ ශ‍්‍රමිකයින්ට ගෙවා තිබේ.