රිය අනතුරකින් මිය යන අයගේ අවයව ගන්න සැලසුම්

රිය අනතුරක් හේතුවෙන් මිය යන පුද්ගලයෙකුගේ වකුගඩු ඇතුළු ශරීරයේ අනෙකුත් කොටස් සෞඛ්‍ය අමාත්‍යංශයට සිය කැමැත්තෙන් ලබාදෙන බවට වන වගන්තියක් රියදුරු බලපත්‍රයට ඇතුළත් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

විදේශ රටවල මෙම වැඩපිළිවෙල සිදුකර අවයව බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙරට තුළ අදාළ වැඩපිළිවෙල ක්‍රීයාත්මක කළ හැකි ක්‍රමවේදය පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස පසුගියදා පැවති රැස්වීමකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව මේ පිළිබඳ අමාත්‍යංශ නිළධාරීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර අවයව බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදුකිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.