ලෝචනා ලංකාවට ඇවිත් ආයෙත් වැඩ පටන් අරන්

ලෝචනා ඉමාෂි විවාහ දිවියට එළැඹුණා. ඇගේ සැමියා පදිංචි වී සිටින්නේ නෙදර්ලන්තයේ හින්දා විවාහ වූ පසුව කලාවෙන් වගේම ලංකාවෙනුත් සමු අරගෙන නෙදර්ලන්තයේ පදිංචියට යන බව තමයි ලෝචනා එදා පැවැසුවේ. ඒ අනුව ඇය පසුගිය ජුනි මස 12 වැනිදා රාත්‍රියේ අප හැමෝගෙන්ම සමු අරගෙන විදෙස් ගත වුණා. සමුගන්න පැය කිහිපයකට කලින් අවසන් වතාවට ඇය මාධ්‍යයට එකතු වුණේ අපිත් එක්ක. ඒ පුවත්පත් සාකච්ඡාව ජුනි 21 වැනිදා “රිද්ම” තුළින් පාඨක පිරිස අතරට යද්දී ලෝචනා හිටියේ ලංකාවෙන් ගව් ගානක් දුර. මීට සති කිහිපයකට කලින් ලෝචනා ආයෙම ලංකාවට ඇවිත් කියන පුවත අපට දැන ගන්නට ලැබුණා. ඒ වගේම මේ වනවිට ඇය මෙගා ටෙලි නාට්‍ය දෙකක රඟපාන බවත් දැන ගන්න ලැබුණා. ලෝචනා දිගටම  ලංකාවේ ඉන්නවද? තනියම ලංකාවට ඇවිත් තියෙන්නේ සැමියා සමග ගැටුමක් ඇතිවූ නිසාද? ඔන්න ඔය වගේ අදහස් ඇතැම් අය තුළ නැගෙද්දී ඒ ගැන ලෝචනාගෙන්ම විමසලා සත්‍ය තොරතුරු දැනගන්න හැදුවා.

ලෝචනා ආයෙම ලංකාවට ඇවිත්?
ඔව්. මම හදිසියේම ආවා. මේ දිනවල තිරගත වන ප්‍රසන්න විතානගේ
අධ්‍යක්ෂණය කළ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටයේ නිෂ්පාදනයට මගේ සැමියා සම්බන්ධයි. ඒ චිත්‍රපටය මේ දවස්වල තිරගත වන හින්දා මම ලංකාවට ආවේ එහි කටයුතුවලට තමයි.
මේ ගමනට ඔබේ සැමියා එකතු වුණේ නැහැ නේද?
නැහැ…ලසන්ත එයාගේ රැකියාවේ කටයුතුවල නිරත වෙලා කාර්යබහුල දිවියක් ගෙවන හින්දා මට ඇවිත් මේ වැඩ ටික බලන්න කිව්වා.
මේ පැමිණි ගමනේ ලෝචනා දිගටම ලංකාවේ ඉන්න බව ආරංචියි?
(හිනැහී) සමහරවිට එහෙම වෙන්න පුළුවන්.
ආයෙම කලාවට එකතු වුණා නේද?
ඔව්. මම අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. එකක් රෝහණ සමරදිවාකරගේ “මීදුමෙන් එහා”  අනිත් නාට්‍යය සුමිත් කුමාරගේ “සප්තපාදි”. මේ දවස්වල “මීදුමෙන් එහා” විකාශය වනවා. ඊට අමතරව පුරුදු විදියට නිවේදන කටයුතුවලටත් එකතු වෙන්න හිතාගෙන ඉන්නවා.
එතකොට ඔබේයි ලසන්තගෙයි යුග දිවිය?
(හිනැහී)  ඒක එහෙමම තියෙනවා. අද
තාක්ෂණය දියුණුයි. ‘ස්කයිප්’ එකෙන් අපි දිනපතා හමුවෙනවා. කතා කරනවා. නිවාඩුවක් ලැබුණහම ලසන්තට ලංකාවට එන්න පුළුවනි. මටත් ඉඳහිට නෙදර්ලන්තයට යන්න පුළුවනි.
විවාහ වෙලා සැමියා සමග නෙදර්ලන්තයට යද්දී ලෝචනා එදා පැවැසුවේ දිගටම එහෙ නතර වන බවයි?
ඔව්. එහෙම තමයි හිතාගෙන හිටියේ. ඒත් මම ගොඩක් සමාජශීලී කෙනෙක්. ලසන්ත වැඩට ගියාම දවසම ගෙවන්නේ හරිම පාළුවෙන් තමයි. චිත්‍රපටයේ කටයුතු හින්දා මට ආයෙම ලංකාවට එන්න අවස්ථාව උදාවුණාම සතුටින් උඩ පැනගෙන ආවේ ඒකයි. මම පාළුවෙන් ඉන්න බව කලාවට ආස බව ලසන්ත දන්නවා. ලංකාවට ආවට පස්සේ ආයෙම රඟපාන්න එකතුවනවට ලසන්ත කැමති වුණේ ඒ හින්දා.
විවාහ වෙලා රටින් සමුගත්තු ලෝචනා ආයෙම ඇවිත් කලාවට එකතු වුණාම ඒ ගැන විවිධ අදහස් ඇතිවෙන්න පුළුවනි.
කීපදෙනෙක්ම මගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවා. මිනිසුන්ගේ මානසික මට්ටම් විවිධයිනේ. මම සැමියා එක්ක තරහ වෙලා ආවද කියලා කෙළින්ම මගෙන් අහපු අයත් හිටියා.
ඒ වගේ අදහස් හින්දා ලෝචනා සැමියාගෙන් වෙන්වෙලා ආවද කියලා කට කතා පැතිරෙන්න ඉඩ තියෙනවා?
මම ෂූටිං ගියාම ලැබෙන විවේකය අනුව ලසන්ත එක්ක ස්කයිප් එකෙන් සම්බන්ධ වෙනවා. ඒක අනිත් අය දකිනවා. ඒ වගේම ඉදිරියේදී ලසන්තත් ලංකාවට ඇවිත් යන්න එයි. ඒ ආවම අපි දෙන්නගේ අලුත් ඡායාරූප ටිකකුත් අරගෙන දෙන්නම “රිද්ම” කතාබහට එකතු වෙන්න එන්නම්.

 

lochana lochana-imashi-4 lochana

ආරියවංශ කුලතිලක