අපි ගෙදර ගෙනාවේ පුංචි රෝස මලක්

භාරතයි මමයි විවාහ වෙලා අපේ පවුලට තුන් වැන්නෙක් එනව කියන ආරංචිය ලැබුණු දා පටන් භාරතගෙ හිතේ තවත් බලාපොරොත්තුවක් ඇති වුණා. ඒ තමයි අපේ පළමුවැනි දරුවා දුවෙක් වෙන්න කියන එක. මගේ කුස ටිකෙන් ටික මෝරලා එද්දි භාරත මගේ බඩ අතගගා බඩට ළංවෙලා මගේ දූ පැටියෝ කියනවා. අපේ පළමු දරුවා දුවෙක් වෙන එක ගැන එයාට ඒ තරම් ලොකු බලාපොරොත්තුවක් තිබුණේ. මට නම් එහෙම විශේෂයක් තිබුණේ නැහැ. දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේ පළමු දරුවා පිළිගන්න මං හරිම ආසාවකින් හිටියේ.

දුවට නම තිබ්බෙත් භාරත

එක්දහස් නවසිය අසූ හතේ ඔක්තෝබර් දාහත් වැනිදා පාන්දර තමයි දුව ඉපදුණේ. පාන්දර හයට භාරත දුවව බලන්න එනකොට මම දුවව ඇඳ උඩ තියලා ටිකක් එහාට වෙන තැනක හිටියේ. මම ඇඳ ළඟට එනකොට භාරත දුව දිහා බලාගෙනම ඉන්නවා. එයාගෙ බලාපොරොත්තුව ඉටු වුණු එකේ සතුට මං ඒ වෙලාවෙ එයාගෙ ඇස් දෙකෙන් දැක්කා. රාත්‍රියේ දරුවා ලැබිලා මම ඒ වෙලාවෙ ටිකක් අමාරුවෙන් හිටියේ. මගේ මූණෙනුත් ඒ අමාරුව පේන්න ඇති. භාරත ඒක තේරුම් ගත්තෙ දුවෙක් ඉපදුණාට මම වැඩි කැමැත්තකින් නෙවෙයි ඉන්නෙ කියලා. “මොකද ඔය මූණෙ හැටි. දුවෙක් ඉපදුණාට ඔයා දුකෙන්ද ඉන්නෙ” කියලා එයා මගෙන් ඇහුවා. පොඩි ළමයෙක් වගේ නොතේරුම්කමට එහෙම ඇහුවාම මට හිනාත් ගියා. “එහෙම දෙයෙක් නෙවෙයි දරුවා ලැබිලා මම මේ අමාරුවෙන් ඉන්නේ” කිව්වම භාරතට තේරුණා මම අමාරුවෙන් ඉන්නෙ කියලා. ඊට පස්සේ එයා ඒ ගැන ඇහුවේ නැහැ. හිරුණිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර කියලා දුවට නම තිබ්බෙත් භාරත. අපි අපේ ගෙදරට එක්කරගෙන ආවේ පුංචි රෝස මලක්. කොහොම වුණත් දුව හම්බ වුණාට පස්සේ මාස හයක් මම කොළඹ හිටියේ නැහැ. වැලිමඩ තියෙන මගේ මහ ගෙදර තමයි ඒ මාස හය මම දුවත් එක්ක හිටියේ.

ඊට පස්සේ අපි කොළොන්නාවෙ අපේ ගෙදරට ආවා. ඒ වෙනකොට ජේ.වී.පී. භීෂණය රට පුරාම පැතිරෙමින් තිබුණේ. මගේ මල්ලිත් කොළඹ ඇවිත් අපේ ගෙදර හිටියේ. ඒ 1988 ඔක්තෝබර් මාසේ. දුවට එතකොට හරියටම අවුරුද්දයි. අසූ අටේ ඔක්තෝබර් තිස් වැනිදා රෑ අපි ගෙදර සාලෙට වෙලා කතා කර කර හිටියේ. මම, භාරත, භාරතගෙ තාත්තා, භාරතගෙ නංගි, මගේ මල්ලි එවෙලේ ගෙදර හිටියේ. භාරතගෙ උකුලෙ තමයි දුව හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා මැතිවරණයට තරග කරනවාද නැද්ද කියන තීරණය ඊට පහුවැනිදා ගන්න තිබුණේ. ඒ ගැන තමයි අපි එදා කතා කරකර හිටියේ. ඒ වගේම ඒ දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ තර්ජනයට ලක්වෙලා හිටපු අයට පුහුණුවකුත් දුන්නා. ඒ වෙනකොට මගේ මල්ලිත් ඒ පුහුණුව ලබලා හිටියේ. ඔය පුහුණුවට ගිය තවත් පහළොවක කණ්ඩායමක් ඊට පහුවෙනිදා පුහුණුව නිම කරලා එන්න හිටියේ. භාරත ඒ අය ගැනත් කිය කියා හිටියේ කොයි ස්ථානවලට කොහොමද ආරක්ෂාවට යොදවන්නේ කියලා.

ඔය දවස්වල අපේ ගෙදර උදව්වට ගෑනු ළමයෙකුත් හිටියා. අපි කතා කර කර ඉන්න අතරේ ඒ ළමයා රට කජු ගේන්න ගිහින් හිටියේ. රට කජුත් අරගෙන ඒ ළමයා ගෙට ඇතුළු වෙන කොටම ටී 56 තුවක්කුවක් ගත්ත තරුණයෙකුත් ගෙට ඇතුළු වුණා. ඒක අපි කීයටවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ගෙට ඇතුළු වුණු ඒ මනුස්සයා කළේ දිගට හරහට වෙඩි තියන්න ගත්ත එක. දුව උකුලෙ තියාගෙන හිටිය භාරත කළේ දුවව තුරුළු කරගෙන වෙඩි තියන පැත්තට කොන්ද හරවපු එක. වෙඩි තියනවා වෙඩි තියනවා ඒත් කොන්දට වදින්නෙ නැත්තේ ඇයි කියලා භාරත ඒ වෙලාවේ කල්පනා කළා කියලා පස්සෙ දවසක මට කිව්වා.

තුවක්කුවත් අරගෙන ඒ මනුස්සයා ‍දොරෙන් ඇතුළු වෙන වෙලාවේ භාරතගෙ තාත්තා හිටියේ ‍දොර ළඟ. තාත්තා කරල තියෙන්නේ තුවක්කුකාරයා තුවක්කුව උස්සන කොටම තුවක්කු බටේ අල්ලලා බිමට හරවන එක. ඒකෙන් පිට වුණු උණ්ඩවලින් ගෙයි සාලෙ ලොකු වළක් හෑරිලා තිබුණා.

වෙඩි සද්ද නැවතුණාට පස්සේ භාරත හිතුවලු මගේ කොන්ද නම් ඉවර ඇති කියලා. ඒත් තාත්තා තුවක්කු බටේ බිමට හරවපු හින්දා එයාට වෙඩි වැදුණේ නැහැ. වෙඩි උණ්ඩවලට බිම හෑරිලා තිබුණු හැටි දැකලා අපි හැමෝම පුදුම වුණා. තමන්ගෙ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕන කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කියලා තිබුණු කතාව ඔය සිද්ධිය වෙන වෙලාවෙ මට මතක් වුණා. භාරත දුවව බදාගත්ත ගමන් මම කළේ දුවපු එක. මම දුවපු හැටි මතක් කර කර ඊට පස්සේ හැමෝම හිනා වුණා.

අපේ පුතා ඉපදුණාට පස්සේ දුවවයි පුතාවයි දෙන්නම බලාගන්න මට ටිකක් අමාරු වුණා. එතකොට කළේ දුවව වැලිමඩ අපේ මහ ගෙදර ගිහින් නවත්තපු එක. මල්ලිට මාස අටක් වෙනකම් අක්කා හිටියේ ආච්චි අම්මා ළඟ. ඊට පස්සේ අපි දුවවත් අපේ ගෙදර එක්කරගෙන ආවා. අක්කයි-මල්ලියි හරිම ආදරෙන් හැදුණෙ වැඩුණේ. පුංචි කාලේ දෙන්නගෙ රණ්ඩුවල නම් ඉවරයක් නැහැ. දුව ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. පුතා ගියේ රාජකීය විද්‍යාලයට. දෙන්නවම එක වසරේ ඉඳලා දහම් පාසලටත් යැව්වා.

හිරුණිකා වියදම්කාරී

දුව හරිම වියදම්කාරී. ඒත් පුතා හැමවෙලේම බැලුවේ ඉතිරි කරන්න. ඉස්කෝලෙ යද්දි ඉන්ටවල් එකට දෙන්නටම ගෙදරින් කෑම හදලා දුන්නේ නැත්නම් සල්ලි දෙනවා කෑම ගන්න. පුතාට රුපියල් දහයක් දුන්නොත් හොඳටම ඇති. හැබැයි දුවට නම් අඩුම තරමේ රුපියල් පනහක්වත් දෙන්න ඕනි. පුතාට දෙන රුපියල් දහයෙන් රුපියල් පහක කාලා ඉතුරු රුපියල් පහ ගෙදර අරගෙන එනවා. හැබැයි දුව කරන්නෙ දුවට දෙන පනහෙ එයත් කාලා යාළුවන්ටත් අරගෙන දෙන එක. එහෙම අරගෙන දෙන්න පනහ මදි නම් යාළුවෙක්ගෙන් ණයට ඉල්ලගෙන හරි අරන් දෙනවා. ඊට පස්සේ ගෙදර ඇවිත් මට කියනවා අම්මෙ අරයට මෙච්චර ණය වුණා හෙට ඉස්කෝලෙ යනකොට ඒ සල්ලි ඕන කියලා.

ඉස්කෝලෙ පන්තියෙ මොනව හරි උත්සවයක් වෙලාවට පුතා කරන්නේ හැමෝම එක එක දේවල් භාර ගන්නකල් ඉඳලා අන්තිමට මොනා හරි භාර ගන්න එක. ඒත් දුව එහෙම නැහැ. පන්තියෙ ළමයි හතළිහක් ඉන්නව නම් කට්ලට් හතළිහයි, සැන්ඩ්විච් හතළිහයි, කෙසෙල් ගෙඩි හතළිහයි විතරක් නෙවෙයි තවත් දේවල් භාරගන්න එක. මම ඉතින් ඒව ලෑස්ති කරලා දෙනවා. දෙන්නගෙම ඉස්කෝලෙ කාලෙ ගෙවුණේ එහෙම තමයි.

අපි හොරු කියලා දණ ගහගෙන හිටියා

ඉස්කෝලෙ කාලෙ තවත් හරි ලස්සන දෙයක් සිද්ධ වුණා. ඒ කාලෙ අපේ පවුලට හරිම හිතවත් ඉංග්‍රිසි ගුරුවරියක් හිටියා. අපි එයාට ගොඩාක් උදවු කරලත් තියෙනවා. භාරතයි මමයි තීරණය කළා මේ ගුරුතුමියව අපේ ගෙදරට ගෙන්වලා දුවටයි, පුතාටයි ඉංග්‍රිසි උගන්වන්න. ගුරුතුමියත් හරිම කැමැත්තෙන් ඒකට එකඟ වුණා. කොහොම වුණත් මුලදි පන්ති ගාස්තු කීයද කියන එක ගැන කතාබහක් වුණෙත් නැහැ. ගුරුතුමිය අපේ ගෙදර ඇවිත් දරුවො දෙන්නට පන්තිය පටන් ගත්තා. පන්තිය මාසයක් පවත්වලා පන්ති ගාස්තු ගෙවන්න ඕන දවසෙ භාරත රුපියල් දහසක් මගේ අතට දීලා ගියා ටීචර්ට දෙන්න කියලා. කොහොම හරි හදිසි වැඩක් යෙදිලා මටත් එදා ගෙරදින් එළියට යන්න වුණා. යන්න කලින් මම දුවවයි, පුතාවයි දෙන්නවම ගෙන්වලා රුපියල් දහස ඔවුන් අතට දුන්නා. පන්තිය ඉවර වුණාම මතක ඇතුව ඒ සල්ලි ටීචර් අතට දෙන්න කියලා මම ගියා. කිසිම වෙනසක් නැතිව ඊළඟ මාසෙත් ගෙවුණා. ගුරුතුමිය ඇවිත් පන්ති කරලා ගියා. දුවයි, පුතයිත් ඉංග්‍රිසි ඉගෙන ගත්තා. දෙවැනි මාසෙ සල්ලි දෙන දවසෙ පන්තිය ඉවර වෙලා සල්ලි දෙන්න ගියාම දරුවො දෙන්නා ඉක්මනට ගේ ඇතුළට දිව්වා. මං බැලුවා මොකද දෙන්නා ගෙට දිව්වෙ කියලා.

ඊට පස්සෙ පන්ති ගාස්තු දුන්නම ගුරුතුමියගේ ඇස් ලොකු වුණා. “අනේ මිසිස් ප්‍රේමචන්ද්‍ර මම කොහොමද සල්ලි ගන්නෙ. ඔයගොල්ලො මට කොච්චර උදවු කරලා තියෙනවාද. මම පහුගිය මාසෙ සල්ලි ගත්තෙත් නැහැ. දරුවො දෙන්නා අතටම ආපහු දුන්නා අම්මා ආපුවහම දෙන්න කියලා” ගුරුතුමිය කිව්වහම මමත් උඩගියා.
පස්සේ හොයලා බලද්දි තමයි වෙලා තියෙන වැඩේ දැනගත්තේ. ටීචර් සල්ලි ආපහු දුන්නාම දුවයි, පුතයි කරලා තියෙන්නේ පන්සීය පන්සීය බෙදාගන්න එක. ඒක අපිට කිව්වෙත් නැහැ.

භාරත මේක දැනගත්තම හොඳටම තරහ ගියා. ඊට පහුවැනිදා නිවාඩු දවසක්. දුවටයි, පුතාටයි භාරත කිව්වා ගේ ඉස්සරහ දණ ගහන්න කියලා. මේ දෙන්නා තාත්තාට හරි බයයි. තාත්තා කියපු විදියටම දණ ගහගත්තා. ගෙදරට එන හැමෝම ගෙට ඇතුළු වෙන්නේ මේ දෙන්නා ළඟින්. එදා විශාල පිරිසක් භාරත හමුවෙන්න සැරෙන් සැරේ ගෙදරට ආවා. භාරත දුවටයි, පුතාටයි කිව්වා මිනිස්සු එතැනින් යන හැම වෙලාවකම ඒ අයට ඇහෙන්න කියන්න කියලා “අපි මේ දණ ගහගෙන ඉන්නෙ රුපියල් පන්සීය පන්සීය හොරකම් කරපු හින්ද” කියලා. දුවයි, පුතයි එහෙම කිය කියා එදා පැය ගාණක් දණ ගහගෙන හිටියා.

උසස් පෙළ කළාට පස්සේ දුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගියා. ඒකත් හරිම කලබලයෙන් සිදුවුණු දෙයක්. සඳුදා අධ්‍යාපන කටයුතු පටන් ගන්නවා. එදාටම කැම්පස් එකේ ඉන්න ඕනෙ කියන දේ දැනගත්තේ, වීසා ලැබුණෙ ඊට කලින් සිකුරාදා. සිකුරාදා රෑම තමයි ගුවන් යානයත් තිබුණේ. ඉතින් එදා ඇඳුම්, අනෙක් අවශ්‍ය කරන දේවල් අරන් දීලා ලන්ඩන්වලට යැව්වා. එදා කලබලයෙන් අරන් තියෙන්නේ ලන්ඩනයේ ඒ කාලයට ගැළපෙන ඇඳුම් නෙවෙයි. පස්සේ දුවට අපි තවත් ඇඳුම් අරගෙන යැව්වා. ඊට අවුරුද්දකට විතර පස්සේ මමයි, භාරතයි ලන්ඩන් ගියා දුවව බලන්න. එදා අනෙක් ළමයි අතරෙ ඉන්නකොට මටයි, භාරතටයි දුවව අඳුරගන්න බැරි වුණා. මොකද දුව ඒ තරමට සුදු වෙලා හිටියේ.

දුව තාත්තට පුදුම ආදරයක් තිබුණේ. හැමදේම කිව්වෙ තාත්තත් එක්ක. කොල්ලෙක් යාළුවෙන්න ඇහුවොත් ඒකත් තාත්තට කියනවා. ඒක හරි පුදුමාකාර බැඳීමක්. භාරතගෙ මරණය දුව කොහොම දරා ගත්තද කියල හිතා ගන්න බැහැ. තාත්තාගෙ ඝාතනයට සාධාරණය ඉටු කර ගන්න සටන් කරන්න දුවට ඔය තරම් ශක්තියක් වෙන්න ඇත්තෙ ඒ ආදරයම වෙන්න ඇති. අලුත් පාර්ලිමේන්තුවෙ මන්ත්‍රිවරු, මන්ත්‍රිවරියො අතරින් වයසින් බාලම කෙනා මගේ දුව. ඒක මට ලොකු සතුටක්. ආඩම්බරයක්. විවාහයේදි දුව, එයා කැමැති කෙනා තෝරා ගත්තා. මම ඒකට ආශීර්වාද කළා. දුවගෙ යහපත් අනාගතය දිහා මම දැන් ආදරයෙන් බලා ඉන්නවා.

hirunika

හසිත කුරුප්පු