ලලිත්ට හා අනූෂට ඇප

ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වු චෝදනා මත අධිකරණයට ඉදිරිපත් වු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් දැඩි කොන්දේසී සහිත ඇප මත මුදාහැර ඈත.

කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය විසින් අද මෙම නියෝගය ලබා දී ඈත

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් දිවයින පුරා විහාරස්ථානවල බැතිමතුන්ට සිල් රෙදි ලබාදීම සඳහා භාවිත කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීම එහිදි සිදුවු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

චෝදනා පත්‍ර භාරගනිමින් විත්තිකරුවන් කියා සිටියේ අදාළ චෝදනාවට තමන් නිවැරදි බවයි.

අධිකරණයෙන් නිකුත් කරන ලද සිතාසියකට අනුව අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් ඇප මත මුදාහරින ලෙස විත්තියේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

කෙසේවෙතත් විත්තිකරුවන්ට අදාළ චෝදනා පොදු දේපළ පනත යටතේ ගැනෙන බැවින් ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු අවශ්‍ය බව මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන් විසින් මෙම නඩුවට උපරිම සහයෝගය ලබාදී ඇති බවත්, සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර නොමැති බවත්, සඳහන් කළ විත්තියේ නීතීඥවරුන් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී.

එහිදී රජයේ නීතීඥවරයා ද ප්‍රකාශ කර ඇත්තේ විත්තිකරුවන් අධිකරණය මගහැර යාමේ ප්‍රවණතාවක් නොමැති අතර මේ වන තෙක් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකළ යුතු බවට තොරතුරු ලැබී නොමැති බවයි.

ඒ අනුව කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරිය, ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කර ඇත.