කීර්තිගේ කරමතට අලුත් වගකීමක්

ඔබට අලුත් තනතුරක් ලැබුණා කියලා ආරංචියි?
ඔව්. ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා විදිහට මම පසුගියදා තේරී පත් වුණා.

සභාපතිවරයා විදිහට මොකක්ද කලාකරුවන් වෙනුවෙන් ඔබ මුලින්ම කරන්න බලා‍පොරොත්තු වන්නේ?
ශ්‍රී ලාංකීය ගායක ගායිකාවන්ගේ සංගමය තමයි මෙරට ගායක ගායිකාවන් වෙනුවෙන් පිහිටුවා තිබෙන එකම සංගමය. නමුත් අපේ සංගමයේ අරමුදල මේ වන විට ඉතාම සුළු මට්ටමකයි පවතින්නේ. ලබන 2016 වසරේ ජනවාරි 29 වැනිදා සංගමයට වසර 25ක් සපිරෙනවා. ඉතින් එයත් නිමිතිකරගෙන 2016 ජනවාරි 31 වැනිදා ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත ප්‍රසංගයක් පවත්වන්න මම බලා‍පොරොත්තු වෙනවා. මේ සඳහා ගායක ගායිකාවන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතයි.

අරමුදල කුඩාවෙලා තියෙන්නේ කලින් හිටපු සභාපතිවරු සංගමයේ දියුණුව වෙනුවෙන් වැඩකරලා නැති නිසාද?
ඔවුන්ගෙන් කැපීපෙනෙන විදිහේ ලොකු සේවාවක් සිදුවෙලා තිබුණේ නැහැ. ඒ නිසා කලාකරුවෙක් මියගියාම බැනර් එකක් දානවා වගේ සුළු දේවල් විතරයි සංගමයෙන් සිදුවුණේ. මේ වසර 25 ඇතුළත දෙවරක්ම සංගමය අක්‍රිය වුණා.

දැනට කීදෙනෙක් එහි සාමාජිකත්වය දරනවාද?
ප්‍රවීණ සහ නව පරපුරේ ගායක ගායිකාවන් ඇතුළුව සාමාජික සාමාජිකාවන් 150 දෙනෙකු පමණ දැනට සංගමයේ සාමාජිකත්වය ලබා තිබෙනවා.

ගායක ගායිකාවන් වෙනුවෙන් තිබෙන එකම සංගමය ඒ තරම් අඩු සාමාජික සංඛ්‍යාවකට සීමා වෙලා තියෙන්නේ ඇයි?
“සංගමයෙන් වැඩක් කෙරෙන්නේ නෑ, ඒ නිසා සංගමයට බැඳිලා වැඩක් නෑ” කියලා වගේ අදහස් සමහරුන්ට තිබුණා. ප්‍රවීණ සහ නවක කියන වෙනසත් ඊට බලපෑවා. විවිධ විදිහේ කලකිරීම් නිසා තමයි සංගමයේ විදිහට අපට ශක්තිමත් වෙන්න බැරි වුණේ.

ඔබට සංගමය ශක්තිමත් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?
ඔව්. ඒක තමයි මගේ අරමුණ. මොකද, ලෝකයේ වැඩිපුරම අසාධාරණයට ලක්වෙන ගායක ගායිකාවෝ ඉන්නේ අපේ රටේ. ඒ තත්ත්වයට බලයට පත්වුන දේශපාලන පක්ෂ, අමාත්‍යාංශ වගේම මාධ්‍ය ආයතනත් වගකිව යුතුයි.

හැබැයි ඔය කියන කලාකරුවෝම නේද ඡන්ද කාලෙට දේශපාලකයන්ගේ පස්සේ යන්නේ?
ඔව්. කලාකරුවන්ව මෝඩයන්ට අන්දන එකයි බලයට පත්වන දේශපාලන පක්ෂ හැමදාම කළේ. සමහරු කැපී පෙනෙන්න බලාගෙන ඡන්ද කාලෙට දේශපාලකයන් පස්සේ යනවා. ඒ අතරේ පුද්ගලික වාසි ලබාගන්නා අයත් ඉන්නවා. මේ දේවල්වලින් කලාකරුවෝ හැමදාම රැවටෙනවා. හැබැයි සංගමයක් විදිහට ශක්තිමත් වුණොත් එකමුතු වෙලා අපට ජනාධිපතිතුමා හමුවෙලා හෝ අපේ වැඩකටයුතු ගැන කියන්න පුළුවන්.

කොහොමද අලුත් කලාකරුවන් සංගමය සමග සම්බන්ධ වෙන්නේ?
අපේ සංගමයේ නීති පද්ධතියක් තියෙනවා. ඊට එකඟ වෙනවා නම් නවක ශිල්පීන්ට වුණත් සංගමය හා සම්බන්ධ වෙන්න පුළුවන්. 0750141141 දුරකථන අංකයෙන් සංගමයේ ‍ලේකම් උපාලි පෙරේරා අමතා ඒ ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්.

 

 

කිෂාන් කනංකෙ