දරුවන්ට බෙහෙත් දීමේදී දෙමව්පියන් අතින් සිදුවන වැරදි

විශේෂඥ වෛද්‍ය චාමරී ලෝචනා වීරරත්න

medicing

 

අපේ සමාජයේ බොහෝ දෙනෙකු වැඩිහිටියන් අරබයා මතුනොව දරුවන් අරබයාද ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී තමන් විසින්ම ගොඩ නගාගත් සිද්ධාන්තවලට අනුව බෙහෙත් පාවිච්චි කරන අවස්ථා නොයෙක් විට දක්නට ලැබේ.උදාහරණයක් වශයෙන් උණක් හෙම්බිරිස්සාවක් වැනි රෝගී තත්ත්වයකදී කලින් වතාවකදී ගෙනවිත් ඉතිරි වී තිබූ බෙහෙත්ම රෝගී දරුවන්ට ‍පොවන දෙමව්පියන්ද සිටිති. ඒ හැරුණු කල වෛද්‍යවරයා විසින් දෙනු ලබන බෙහෙත් තම හිතු මතයට අනුව අඩු වැඩි කරමින් දරු පැටවුන්ට ‍පොවන පණ්ඩිත වැඩ කරන දෙමව්පියන්ද නොසිටිනවා නොවේ.
නමුත් වෛද්‍යවරයා විසින් යම් රෝගියෙකු උදෙසා බෙහෙත් වට්ටෝරුවක් සකසනු ලබන්නේ රෝගියාගේ සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳව සිතා බැලීමෙනි. ඒ නිසා වෛද්‍යවරයා විසින් නියම කරනු ලබන බෙහෙත් වට්ටෝරුව තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීම කිසි ලෙසකින්වත් සිදු නොකළ යුත්තකි.
ඒ හැරුණු කල තවත් සමහරුන් විසින් සිදු කරනු ලබන බරපතළ වරදක් වන්නේ වැඩිහිටියන් සඳහා කලින් ගෙන එන ලද ඖෂධ ප්‍රමාණයෙන් අඩුකර අසනීප දරුවන්ට දීමට පෙළඹීමය.බොහෝ විට වැඩිහිටි උදවිය සඳහා නිපදවන ඇතැම් ඖෂධවල මද්‍යසාරය, ලුණු වැනි ද්‍රව්‍ය සුළු පරිමාවෙන් හෝ අඩංගු විය හැක. එහෙත් දරුවන් සඳහා නිපදවන ඖෂධවල එකී සංඝඨක කුමන ලෙසකින්වත් අඩංගු නොවේ. එහෙයින් දරුවන්ට මේ ආකාරයෙන් හිතුමතයේ ඖෂධ ලබා දීම නිසා ඔවුනගේ ශරීරවලට ඇතුළත් නොකළ යුතු ඇතැම් ද්‍රව්‍ය දරුවන්ගේ ශරීරගත විය හැක. එමෙන්ම ඇතැම් ඖෂධවල බාහිර ආවරණය එම ඖෂධය ශරීරගත වූ පසු වැදගත් කාර්යයක් ඉටු කරයි. විශේෂයෙන්ම සමෛන් ශරීරගතවන ඖෂධ වර්ගවලදී මෙම තත්ත්වය වඩාත් බලපාන බව නොකියාම බැරිය. එහෙත් පෙති වර්ග කුඩා දරුවන්ට දීම සහ කරල් ගලවා ඇතුළේ ඇති කුඩු ප්‍රමාණයෙන් අඩක් එක වරකට ලබා දීම මගින්ද වඩාත් වේගයෙන් ඖෂධ ශරීරගත වීම සිදුවෙයි. එය ඉතා හානිදායකය.
විශේෂයෙන්ම පෙති වර්ග ඇතුළු ඇතැම් ඖෂධ වර්ග දෙකට කඩා ගැනීම හානිදායකය. ඒ බව නිෂ්පාදකයන් විසින්ම පවසා තිබේ. වෛද්‍යවරුන් ඵවැනි ඖෂධ කිසි ලෙසකටවත් කැබලි කරගැනීමට නිර්දේශ නොකරති. ඒ හැරුණු කල කුඩා පෙති වර්ග සමාන කොටස්වලට කැඩීමට නොහැක. එවැනි අවස්ථාවල නියමිත මාත්‍රාව ද ලබා ගැනීම අසීරු වෙයි. එනිසා දරුවන්ට ඖෂධ ලබාදීමේදී ඔබ වඩාත්  සැලකිලිමත් විය යුතු වෙයි. වඩාත් හොඳ ක්‍රමය ඔබේ දරුවාට වෛද්‍ය නිර්දේශ මත පමණක් ඖෂධ ලබාදීමය.
“මට දවස් ගාණක ඉඳන් කැස්ස හෙම්බිරිස්සාව මොකක් හරි ඉක්මනට අඩුවෙන්න බෙහෙතක් දෙන්න” යැයි ඇතැම් පුද්ගලයන් ඖෂධවේදීන්ගෙන් ඉල්ලා සිටින අවස්ථා තිබේ. මෙයද බොහෝ දෙනෙකු විසින් සිදුකරනා අතිශයින් හානිකර ක්‍රියාවකි. ඖෂධවේදීන් ඖෂධ හඳුනන බව සැබෑය. නමුත් ඔවුන් පුහුණුව ඇත්තේ වෛද්‍ය නිර්දේශ මත රෝගීන්ට ඖෂධ ලබා දීමටය. ඒ හැර රෝග ලක්ෂණ අසා ඖෂධ ලබාදීමට ඖෂධවේදීන්ට හැකියාවක් නැත. මේ බව නොතකන ඇතැම් පුද්ගලයන් අසනීපයකදී ළඟම ඇති ෆාමසියට ගොස් රෝග ලක්ෂණ කියා ඖෂධ ඉල්ලා ගැනීමට පුරුදුව ඇත. මෙමගින් තම ජීවිතයම අවදානමේ දමාගන්නවාට අමතරව ඔවුන් ඖෂධවේදීන්වද නීති විරෝධී කටයුත්තකට ‍පොළඹවා ගනිති. ශ්‍රී ලංකාවේ ඖෂධ අලෙවිසල් බහුතරයක සේවය කරනුයේ නුපුහුණු සේවකයන්ය. බොහෝ ෆාමසිවල සැබෑ ඖෂධවේදියා සිටින්නේ බිත්තියේ එල්ලා ඇති ඡායාරූපයේය. එබැවින් තම ජීවිත අවදානම ගැන සිතා   ඖෂධවේදීන්ගෙන් ඖෂධ ඖෂධ ඉල්ලා ගැනීම සුදුසු නොවේ. ඖෂධවේදීන්ද තම වෘත්තීය සදාචාරය ගැන සහ මිනිස් ජීවිත ගැන සිතා එසේ ඖෂධ නිකුත් කිරීමෙන් වැළකිය සිටිය යුතුය.
එමෙන්ම කලකට පෙර රෝගී වූ අවස්ථාවක ලබාගත් ඖෂධවලට අදාළ තුණ්ඩුව හෝ ඖෂධ බහාලුම් ඉදිරිපත් කර යළිත් වරක් ඖෂධ ලබා ගැනීමද අද ඉතා වැඩි දෙනෙකු අතින් කෙරෙන්නකි. මෙයද සුදුසු කරුණක් නොවේ. එකම ඖෂධය කීපවරක් හෝ කලක් ලබා ගැනීම සුදුසු නම් එවැනි අවස්ථාවල වෛද්‍යවරයා ඒ බව පැහැදිලිව සඳහන් කරවිය යුතුය. එවැනි අවස්ථාවක හැර සෙසු අවස්ථාවලදී ඔබේ පැරණි තුණ්ඩුව ඉදිරිපත් කර යළි ඖෂධ ලබා ගැනීම සිදුනොකළ යුතුය.
“මගේ බඩ පුරවදාලා හරිම අපහසුයි”
“ආ…. ඔයාට තියෙන්නේ බඩේ ගෑස්. මෙන්න මේ පෙති දෙකක් හපලා කන්නකෝ” ඔබටද මෙවැනි උපදේශ හිතවතුන්ගෙන් අනන්තවත් ලැබි තිබෙන්නට පුළුවන. බඩේ ගෑස් නොහොත් ගැස්ට්‍රයිටීස් යනුවෙන් හඳුන්වන රෝගී තත්ත්වය සමාජයේ ඉතා සුලභව වාර්තා වන්නකි. මේ නිසාම බොහෝ දෙනෙකු තම හිතුමතේ ඊට බෙහෙත් ලබා ගනිති. සත්‍ය වශයෙන්ම වට්ටෝරු රහිතව මිලට ගත හැකි ඖෂධ වර්ගයක් දින දෙක තුනක් මෙවැනි රෝගයකදී භාවිත කිරීම වරදක් නොවේ. එහෙත් ඔබ පෙළෙනා ශාරීරික අපහසුව අඛණ්ඩව පවතීනම් එය සුව වනතුරු දිගින් දිගටම ඔබේ හිතු මනාපයට ඖෂධ ලබා ගැනීම සුදුසු නොවේ.
බඩපුරවා දැමීම ඇතැම් විට වෙනත් රෝගී තත්ත්වයක පූර්ව ලක්ෂණයක් වීමටද ඉඩ ඇත. එමෙන්ම ඔබ පෙළෙනා රෝගී තත්ත්වය ගැස්ට්‍රයිටීස්ම වුවද, ඔබ ලබා ගන්නා ඖෂධවලට වඩා වෙනස් ඖෂධ පන්තියක් එයට ලබා දිය යුතුව තිබෙනවා විය හැක. එබැවින් ඔබේ ශාරීරික අපහසුව දිගින් දිගටම පවතීනම් වහාම සුදුසුකම් ලද වෛද්‍යවරයෙකු වෙත ගොස් රෝග ලක්ෂණ පවසා ප්‍රතිකාර ගත යුතුය. මන්ද යත් ආහාර මාර්ගයේ පවතින වෙනත් රෝගයක් නිසා මෙන්ම කලාතුරකින් ඇතිවිය හැකි හෘදයාබාධ තත්ත්වයක පූර්ව ලක්ෂණයක් ලෙසද ඔබට යම් අපහසුතා ඇතිවිය හැක.
ඊට අමතරව මෙවැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍යවරු ඖෂධ නිර්දේශ කිරීමට පමණක් සීමා නොවෙති. ඔබේ ආහාරපාන, ඇවතුම් පැවතුම් මෙන්ම ඖෂධ ලබාගත යුතු නිවැරදි පිළිවෙළ පිළිබඳවද  ඔබව දැනුවත් කිරීමට වෛද්‍යවරු පෙළඹෙති. එම උපදේශයන්ද ඔබේ සුවය කඩිනම් කිරීමට මහෝපකාරී වෙයි.
එමෙන්ම ඔබ ලබාගත් ඖෂධ තවත් කෙනෙකුට ලබා දීමෙන් හෝ ලබා ගන්නට ධෛර්යය දීමද සිදු නොකළ යුතුය. ඔබලා කල්‍යාණ මිතුරන් වුවද ශාරීරිකව පුද්ගලයන් දෙදෙනකි. අනතුරක් ඇති කළ හැකි අවදානම් සහගත ක්‍රියාවලින් වැළකී සිටීම වඩාත් යහපති.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු