නීති පද්ධතිය කලඹන තීන්දුවක් දෙයි

සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ලබාගෙන, එම මුදල් සාවද්‍ය පරිහරණය කළ සැකකරුවන් බවට පැහැදිලිව හඳුනාගත් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ඊයේ (08දා) නියෝග කළේය.

ඒ අනුව ලබන නොවැම්බර් 05 වැනිදා අධිකරණය හමුවට පැමිණෙන ලෙස දන්වා අතිරේක මහෙස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 2හි ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කෙළේය.
මේ සිද්ධියට අදාළ තවදුරටත් විමර්ශන පවත්වමින් සිටින බවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටින අතරතුරදී නීතිපතිවරයා විසින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා නඟා තිබිණි. ඊට අදාළ නඩුව මහාධිකරණය හමුවේ පෙරේදා (07දා) කැඳවූ අවස්ථාවේදී එම විත්තිකරුවන්ට ඇප නියම කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සාජිත් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කීය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නඩු අංක 8026/15 යටතේ අධි චෝදනා පත්‍ර ගොනු කිරීමක් කරලා තිබෙනවා. ඒ අනුව මෙම නඩුව 2015 සැප්තැම්බර් 18 වැනි දින කැඳවා විත්තිකරුවන් වශයෙන් අනූෂ පැල්පිට සහ ලලිත් වීරතුංග යන අයට සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් 7 වැනි දින කොළඹ මහාධිකරණ අංක 5 අධිකරණයේ කැඳවීමෙන් අනතුරුව එම විත්තිකරුවන් ඉදිරිපත් වීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුව මෙම නඩු කටයුතු අවසන් කිරීමට ඉල්ලීමක් කර සිටිනවා. ඒ වාගේම අනූෂ පැල්පිට යන අයට විදේශ ගතවීම තහනම් කිරීමේ නියෝගයක් ලබාගත්තා. එම නියෝගය ඉවත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය නඩු ගොනුව අධ්‍යයනය කොට යුක්තිය හා සාධාරණත්වය පතා සුදුසු නියෝගයක් ප්‍රකාශයට පත් කරන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අදාළ තීන්දුව ලබාදීමට නඩු විභාගය මඳ වේලාවකට අධිකරණ කටයුතු කල් තැබීය.
ඒ අනුව පිටු 41කින් සමන්විත අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ විශේෂ තීන්දුව ප්‍රකාශයට පත් කෙළේය. එම තීන්දුවේ මෙසේ සඳහන් වේ.
විත්තිකරුවන් සිදුකර ඇති වරද 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහිලා ගැනෙන වැරැදි පිළිබඳ පනතේ 5 (1) වගන්තිය යටතට වැටෙන වරදකි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අවසන් වැඩිදුර වාර්තාවේ සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන දෙදෙනා රජයේ මුදල් මිලියන 600ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කර ඇති බවට අනාවරණය වූ බවය. එසේ සඳහන් කළ කාරණා අනුව පොදු දේපළක් බවට පොලිසිය විසින්ම කරුණු දක්වා ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට රාජ්‍ය දේපළ අවභාවිතාව එනම් පොදු දේපළ පනත යටතේ නඩු පැවැරීමට හා සැකකරුවන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. අපරාධ නඩු විධාන පනත අනුව විමර්ශන නිලධාරීන් (පොලිසිය/ සී.අයි.ඩී./ එෆ්.සී.අයි.ඩී.) සැකකරුවන් ඉදිරිපත් කළ යුත්තේ මහෙස්ත්‍රාත් අධිකරණයකටය. ඉන් ඔබ්බට ඉදිරිපත් කළ යුතු යැයි කිසිදු විධිවිධානයක් අපරාධ නඩු විධාන පනතේ නැත.
ඒ අනුව මේ වන තුරු විමර්ශන අවසන් නම්, විමර්ශන අවසන් බවට සැප්තැම්බර් 15 වැනි දින වැඩිදුර වාර්තාව තුළ දක්වා තිබියදීත් සැකකරුවන් ඉදිරිපත් කිරීමට පියවර ගෙන නොතිබෙන කරුණ පෙනී යයි. අධිකරණය විශේෂයෙන්ම නීතිපතිවරයාගේ වගකීම පිළිබඳවද නීතිමය විධිවිධාන ඔස්සේ සැලකිල්ලට ලක් කරමි.
ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන අවසන් වීමෙන් පසුව නොපමාව ගත යුතු ඉදිරි පියවර ලෙස සැකකරුවන්ද හඳුනාගෙන ඇත්නම් ඔවුන් අධිකරණය ඉදිරියට පමුණුවාලීම කළ යුතුම වේ.

මේ සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනතෙක් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කර නැත. නඩුවක් විමර්ශනයේදී අනාවරණය කරගත් සැකකරුවන් කවුද? යන්න දැන ගැනීමේ අයිතියක් ද මහෙස්ත්‍රාත්වරයාට ඇත. ඒ අනුව සියලු වැදගත් කරුණු හෙළිදරව් කිරීමේ වගකීම පැමිණිල්ලට ඇත.
‘අධිකරණයට පැමිණිය යුත්තේ පිරිසුදු දෑතින් බව දැන ගත යුතු වීමද අධිකරණයේ මතයයි.’
අධිකරණයේ අත්දැකීම අනුව පොදු දේපොළ පනත යටතේ පොලිසිය නඩු ඉදිරිපත් කර ඇත්තේද මහෙස්ත්‍රාත්වරයා වෙතය. අපරාධ නඩු විධාන පනත හා පොලිස් පනත අභිභවා කටයුතු කිරීමට පැමිණිල්ලට හැකියාවක් නැත.

මේ නඩුවට අදාළව මහාධිකරණය 2015 සැප්තැම්බර් 14 දින කළ ඉල්ලීම පරිදි මුල් ගොනුව මහාධිකරණයට යවා ඇත. එකී ගොනුව ඉල්ලා මේ අධිකරණයට ලිපිය ලැබී ඇත්තේ සැප්තැම්බර් 15 වැනිදාය. පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ එම දිනයේය. නමුත් එම දිනයේදී මෙම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත්ද යන්න පිළිබඳව කිසිදු සඳහනක් මේ අධිකරණයට පැමිණිල්ල විසින් හෙළිදරව් කර නැත. මහාධිකරණයෙන් මේ නඩු වාර්තා ඉල්ලා සිටීමට අනුව එයට ගරු කරමින් අධිකරණය නඩු වාර්තාව යවා ඇත. මහාධිකරණයේ අධි චෝදනාවක් ගොනු කළේ නම් 2015 සැප්තැම්බර් 14 දින හෝ ඊට පෙර විය යුතුය. එය පැමිණිල්ල දැන සිටිය යුතු විය. එහෙත් එවැනි කිසිදු කරුණක් 2015 සැප්තැම්බර් 15 දින මෙම අධිකරණයට ප්‍රකාශ කර නැත. මා ඉහතින් සඳහන් කළ නඩු තීන්දුව පරිදි පිරිසුදු දෑතින් අධිකරණයට පැමිණීම ඉතා වැදගත් කරුණක් බව අවධාරණය කරමි.

මහෙස්ත්‍රාත්වරයා යනු අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 2 වැනි වගන්තිය අනුව විනිශ්චයකාරවරයෙක් වන්නේය. ඩෙනින් සාමිවරයාගේ ‘ශිෂ්ට සම්පන්න සමාජයක පැවැත්ම ඔහුගේ කාර්යය මත ර¼දා පවතී’ යන ප්‍රකාශය අනුව මහෙස්ත්‍රාත්වරයාට එම කාර්යය පැවරේ. ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙහි ස්ථානාධිපතිවරයාගෙන් මේ නඩුවට අදාළව සැකකරුවන් ඉදිරිපත් නොකළේ ඇයිද යන්න විමසීමට හැකියාව ඇත.
ඒ අනුව අධිකරණයේ වගකීම යනු මෙම නඩුවට අදාළව පොලිසිය / මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නිසි පරිදි ක්‍රියා කර ඇත්තේ ද යන්න විමසා බැලීමය. ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස් දෙපාර්තමේන්තුවේ කොටසක් වශයෙන් සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික නීතිය වන්නේය. එය සියලු පුරවැසියන්ට අදාළ වන අතර එයට යටත් වේ. පොදු දේපළ පනත අනුව සියලු සැකකරුවන් මහෙස්ත්‍රාත්වරයා හමුවට විභේදනයකින් තොරව ඉදිරිපත් කළ යුතුය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය පරිදි නීතිය ඉදිරියේ සියලු පාර්ශ්වයන් සමානය.
ඒ අනුව නීතිය ඉදිරියේ සමානතාව යනු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාවද සියලු පුරවැසියන්ට එක සමාන විය යුතුය.

පොලිස් දෙපාර්තමේන්තුවට / මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මහෙස්ත්‍රාත් අධිකරණයේ අභිමානය බිඳ වැටෙන ආකාරයට හෝ සමස්ත මහෙස්ත්‍රාත් අධිකරණයන්හි අධිකරණ බලය අවසංකල්පනය වන ආකාරයට හෝ යටපත් වන ආකාරයට ක්‍රියා කිරීමට හැකියාවක් නැත. එසේම ව්‍යවස්ථාපිත නීතියෙන් පැහැදිලි ප්‍රතිපාදන සපයා තිබියදී මහෙස්ත්‍රාත්වරයාට අධිකරණ සංවිධාන පනතෙන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල බිඳ වැටෙන ආකාරයට ක්‍රියා කිරීමටද අවකාශ නැත.
මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඔබ්බට ගොස් සැකකරුවකු වෙනත් අධිකරණ පරිශ්‍රයකට ඉදිරිපත් කළ හැකි බවට හෝ ඉදිරිපත් කළ යුතු බවට සඳහන් විධිවිධානයක් නැත. එසේ අධිකරණ කාර්ය පටිපාටිය අනුව සිදු නොකරයි නම් මහෙස්ත්‍රාත් අධිකරණය නොසලකා හැරීමක් ද වේ.

ඒ අනුව සැකකරුවන් හඳුනාගත් පසුව පළමුව නොපමාව අධිකරණය හමුවට ගෙන ඒමේ වගකීම පැමිණිල්ල සතුය. මහෙස්ත්‍රාත්වරයාගෙන් සෙසු නියෝග ලබා ගෙන සැකකරුවන් මහෙස්ත්‍රාත්වරයා හමුවට නොපමුණුවාලීමේ බලයක් හෝ අයිතියක් පැමිණිල්ලට නොමැත. පැමිණිල්ල වන මේ නඩුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ යුත්තේ විමර්ශන අවසන් කර සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යෙදීමය. එසේ ඉදිරිපත් කළාට පසුව ඇප දෙන්නේද රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේද යන්න අධිකරණමය කාර්යයක් වේ. එයට කිසිදු පාර්ශ්වයකට මැදිහත් විය නොහැකිය.

විමර්ශන අවසන් වී සැකකරුවන් හඳුනාගත් පසුව ඔවුන්ව මහෙස්ත්‍රාත්වරයා හමුවට නොගෙනවිත් සිටීමට බලයක් ව්‍යවස්ථාපිත නීතියේ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට හිමි කර දී නැත. අපරාධ නඩු විධාන සංග්‍රහ පනත අනුව සැකකරුවකු / සැකකරුවන්ව ඉදිරිපත් කිරීම විමර්ශනය අවස්ථාවේදී කළ යුත්තේ මහෙස්ත්‍රාත් අධිකරණයටය.
ඒ අනුව සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් කළ විට ඇප සම්බන්ධ 08 වගන්තියේ ප්‍රතිපාදන අනුව රුපියල් 25,000කට වැඩිනම් රිමාන්ඩ් භාරයේ තබා ගත යුතුය. එය නඩු විභාගය අවසන් වන තෙක්ය. ඇප දිය හැක්කේ අසාමාන්‍ය හේතු මතය. අධිකරණය කවරක් වුවද මෙම ප්‍රතිපාදන වලංගුය. ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණය හෝ මහාධිකරණයට අසාමාන්‍ය හේතු නැතිනම් ඇප සම්බන්ධයෙන් පැමිණිල්ල විරෝධතාවක් නොදැක්වූ පමණින් ඇප දිය යුතු යැයි තීරණය කළ නොහැකිය. මක්නිසාද යත් විරෝධතා නොදැක්වීම වංක සහයෝගය මත වූවක්ද යන්න අධිකරණමය දෑසින් බැලිය යුතු නිසාය. ඒ අනුව විමර්ශන අවසන් වුවද මෙම පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය හැකිය.

පොදු දේපළ පනතේ කිසිදු තැනක දැන්වීම් හෝ සිතාසි නිකුත් කර සැකකරුවකු කැඳවාගත යුතු යැයි ප්‍රතිපාදන නැත. මෙම නඩුවේ විමර්ශන අවසාන කර තිබියදී අද වන තුරු මේ නඩුවේ සැකකරුවන් දෙදෙනා මෙම මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී නැත.
මෙවැනි බරපතළ චෝදනාවලදී පොලිසියට සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමේ බලය හා වගකීම නොසලකා හැරීමට හැකියාවක් නැත. එය නොවලහා ඉටු කළ යුතුය. කවර ක්‍රමයකට වුව සැකකරුවන් ඉදිරිපත් කළද ඇප දීමේදී වටිනාකමේ සීමාව තුළ ඉහත නීතිමය තත්ත්වය සලකා බැලිය යුතුය. පොලිසිය සැකකරුවන් ඍජුව ඉදිරිපත් කළ යුතු වන්නේ මහෙස්ත්‍රාත්වරයා හමුවටය. ඉන්පසුව ඔවුන්ව නඩුවට ඇතුළත් කළ යුතුය. ඒ හැර වෙනත්, නීතියට පටහැනි ක්‍රමවේද අනුගමනය කිරීමට පැමිණිල්ලට නොහැකිය. දේපළේ වටිනාකම පිළිබඳ සහතිකය ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත් අධිකරණය සිදු කරන හෙයින් සැකකරුවන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ යුතුව තිබේ. පැමිණිල්ල මෙම නීතිමය කාර්ය පටිපාටිය නොසලකයි නම්, නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත්වී නිවැරැදි කාර්ය පටිපාටියට පොලිසිය මෙහෙයවීම කළ යුතුය.

පැමිණිල්ල අද දින වැඩිදුර වාර්තාවක් මඟින් ඉල්ලා සිටින්නේ, සැකකරුවකු වන අනූෂ පැල්පිට නමැති අයට පැනවූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසය. නමුත් මහාධිකරණය කුමන කොන්දේසි මත ඇප ලබාදී ඇත්ද යන්න සැලකීමකින් තාරව දැනට මහාධිකරණයේ විභාග වීමට නියමිතව ඇතැයි කියන නඩුකරයක් සම්බන්ධව නියෝග නිකුත් නොකරමින් මන්ද යම් හෙයකින් එම ඉහළ අධිකරණයක නියෝගයකට පටහැනිව පහළ අධිකරණයකින් නියෝගයක් නිකුත් වුවහොත් එමඟින් යුක්ති ක්‍රියාදාමය විපරිත තත්ත්වයකට පත්විය හැකි බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති මූලික නීතිය හා අධිකරණ සංවිධාන පනත මඟින් මහෙස්ත්‍රාත් අධිකරණය සතු අධිකරණ බලය අවසංකල්පනය නොකොට, යටපත් නොකොට මේ නඩුව සම්බන්ධයෙන් සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 2හි ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමි. එම නියෝගයේ සහතික පිටපත් අදාළ ස්ථානාධිපතිවරයාටද බස්නාහිර උතුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද නිකුත් කරනු.

අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එම අවස්ථාවේදී අධිකරණය තුළ සිටි සියලුම නීතිඥවරුන් සිය පුටුවලින් නැඟිට අදාළ තීන්දුවට ගරු කිරීමද සුවිශේෂී සිද්ධියක් විය.

 

 

mawbima