ISISට හානි අති මහත්

සිරියාව තුළ ගුවන් ප‍්‍රහාර ආරම්භ කර සතියක් ගත වන විට රුසියානු ප‍්‍රහාරක යානා විසින් ISIS ඉලක්ක 110ක් විනාශ කර ඇත.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන වලට අනුව සැප්තැම්බර් 30වනදා සිට මේ දක්වා සිදුකර ඇති ප‍්‍රහාරක පියාසැරි ප‍්‍රමාණය 120කි.

රුසියානු ගුවන් ප‍්‍රහාරවලින් සන්නද්ධ රථ 71ක්, වෙනත් රථ 30ක්, විධාන මධ්‍යස්ථාන 19ක්, සන්නිවේදන මධ්‍යස්ථාන 2ක්, තෙල් සහ උණ්ඩ ගබඩා 23ක්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් 6ක්, කාලතුවක්කු පද්ධති ගණනාවක් සහ පුහුණු කඳවුරු රැසක් විනාශවූ බව වාර්තාවී තිබේ.

අඛණ්ඩ ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකර රජයේ හමුදා පීඩනයට ලක්කිරීමට ISIS ත‍්‍රස්තවාදීන්ට ඇති හැකියාව අඩපණ කරමින් ගොඩබිම් ප‍්‍රහාරයක් එල්ලකිරීම සඳහා සිරියානු හමුදාවන්ට අවකාශ සැලසීම රුසියානු මැදිහත්වීමේ අරමුණයි.

ඊසානදිග සිරියාවේ රක්කා සිට බටහිර පැල්මයිරා දක්වාත් දකුණින් දමස්කස් ආසන්නයටත් ආදී වශයෙන් සිරියාව පුරා පැතිර යන ප‍්‍රදේශයක ඉලක්ක විනාශ කිරීමට රුසියානු ප‍්‍රහාරක යානා විසින් පියවර ගන්නා ලදී.

රුසියානු හමුදා ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ ප‍්‍රහාර නිසා ධෛර්යය සිඳගත් සටන්කාමීන් දහස් ගණනක් සිය සටන්බිම් අතහැර යාමට පටන්ගෙන ඇති බවයි.