රෝසිගෙ මනාප කොල්ලකාලද ?

ඉකුත් මහ මැතිවරණයේදී තමාට ලැබි තිබූ ඡුන්ද අති විශාල ප‍්‍රමාණයක් පරිගණක වාර්තා සැකසීමේදී පක්ෂයේ වෙනත් අපේක්ෂකයන්ට එකතු වී ඇති බැවින් කොළඹ දිස්ත‍්‍රිත් එජාප අපේක්ෂකයන්ගේ මනාප යළි ගණන් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝසි සේනානායක මහත්මිය ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

මෙම පෙත්සම විමසුමට ලක් කළ බුවනෙක අලූ‍විහාරේ, උපාලි අබේරත්න හා ප‍්‍රියන්ත ජයවර්ධන යන ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්ෂකයන් 21 දෙනාට සහ මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූ‍ වගඋත්තරකරුවන්ට නොවැ. 30 වැනිදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දක්වා නොතිසී නිකුත් කරන ලෙස ඊයේ (08* නියෝග කළේය.

අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී හා කොළඹ බටහිර එජාප ප‍්‍රධාන සංවිධායක හිටපු ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය බර්නාඞීන් රෝස් සේනානායක මහත්මිය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් වශයෙන් මෙම පෙත්සම ගොනු කොට ඇත.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා සහ කොළඹ දිස්ත‍්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරි එච්.කේ. කමල් පද්මසිරි මහතා විසින් සිය විධායක සහ /හෝ පරිපාලන ක‍්‍රියාවන් තුළින් තමාගේ මූලික අයිතිවාසිකම්ද,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන අනුව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශිතව සහතික කොට ඇති ජනතාවගේිපරමාධිපත්‍යය’ ද 4 සී අනුව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශිතව සහතික කොට ඇති ජනතාවගේ සර්වජන ඡුන්ද හිමිකමද උල්ලංඝනය කොට ඇති බවද රෝසි සේනානායක මහත්මිය සිය පෙත්සමෙන් ප‍්‍රකාශ කොට ඇත.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් නිකුත් කරන ලද වාර්තාවන්හි සඳහන් තම නමට හිමි මනාප ඡුන්ද ප‍්‍රමාණ දස දහස් ගණනක් වූ ප‍්‍රමාණයක් පරිගණක වාර්තාවෙහි අඩු කොට ඇති බවත් වෙනත් අපේක්ෂකයින් කිහිප දෙනකුගේම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වාර්තාවන්හි සඳහන් ප‍්‍රමාණයට වඩා වැඩි මනාප ප‍්‍රමාණ පරිගණක වාර්තාවන්හි සටහන්ව ඇති බවත් පෙත්සම්කාරිය ප‍්‍රකාශ කොට සිටී.

එම කරුණු තහවුරු කිරීම සඳහා අදාළ පත‍්‍රිකා කිහිපයක්ද පෙත්සමට ඇතුළත් කෙට ඇති අතර ඒවායෙහි පිටපත්ද අමුණා ඇත.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා මනෝ ගනේෂන් යන අපේක්ෂකයන්ගේ නම්වලට එලෙස පරිගණක වාර්තාවන්හි වැඩිපුර සටහන්ව ඇති ඡුන්ද ප‍්‍රමාණ වෙන් වෙන් වශයෙන් සවිස්තරව පෙත්සමෙහි දක්වා ඇති අතර පෙත්සම්කාර සේනානායක මහත්මියගේ මනාප ඡුන්ද ප‍්‍රමාණය පරිගණක වාර්තාවෙහි අඩුවෙන් සටහන්ව ඇති ආකාරයද සවිස්තරව වෙන් වෙන්ව මධ්‍යස්ථාන වශයෙන් ම දක්වා ඇත.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන අංක 07, 08, 15, 17, 20, 21, 36, 37, 90, 91 හා 93 හි මනෝගනේෂන් මහතාගේත් මධ්‍යස්ථාන අංක 21, 75, 80, 85, 93, 94, 107 හා 113 හි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේත් පමණක් මනාප ඡුන්ද ප‍්‍රමාණය 9673කින් වැඩි කොට පරිගණක වාර්තාවන්හි සටහන් වී ඇති බවත් ඒ අනුව අවසාන ප‍්‍රතිඵලයේදී එම ඡුන්ද ප‍්‍රමාණය ඔවුන් ලබාගත් ඡුන්ද වශයෙන් සටහන් වී ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

මේ අනුව පක්ෂ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ මහතාද ඇතුළුව එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා තරග කළ අපේක්ෂකයන් 21 දෙනාගේම මනාප ඡුන්ද නැවත ගණන් කොට එහි ප‍්‍රතිඵලය කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්ෂක ඡුන්ද ප‍්‍රතිඵලය ලෙස ප‍්‍රකාශ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙසද පෙත්සම්කාරිය ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

මෙම පෙත්සම මගින් නම් කොට ඇති වගඋත්තරකරුවන් 25 දෙනාටම නොවැම්බර් 30 වැනි දින ශේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට දන්වමින් ඔවුන් වෙත නොතිසි යවන ලෙස පෙත්සම් පාර්ශ්වයට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමද එදිනම විමසුමට ලක් කිරීමට දින නියම කළේය.

කමල් මහේන්ද්‍ර වීරරත්න