රටක්‌ වල් වද්දන මල් හදන හැටි

අප ජීවත්වෙමින් ඇත්තේ “ශ්‍රමයට” වටිනාකම් අහිමි බිමකය. බොහෝ දෙනෙකුගේ හිසමත අගහිඟකමේ වැසි වැටෙමින්ය. ඇතැමෙක්‌ ඉන් බේරීම පිණිස විවිධ ක්‍රම සහ විධි අනුගමනය කරමින්ය. මේ එවන් පිරිසක්‌ පිළිබඳ තරමක හෙළිදරව්වක්‌ සිදු කරන අප්‍රකට කථා පුවතක්‌ය. මොවුන්ගේ දිනක වැටුප රුපියල් පන්දහසක්‌ හෝ ඊට ආසන්න අගයක්‌ වන අතර රාජකාරිය බෙහෙවින්ම දුෂ්කරය. මරණය අතින්ගත් පිරිසකට සමානය. මරු වැලක පැටලීම, අලි කොටි වග වල සුන්ගෙන් පණ බේරාගෙන ජීවත් වීම හිරේ විලංගුවේ වැටීම ඇතුළු අවදානම් පැකේජයට ලබාදෙන දෛනික ලංසුව මේ රුපියල් පන්දහසය.

 

imgres

ඔවුන්ගේ ජීවිත අන්දරය මෙන්ම චරිත ස්‌වභාවය රළු පරලුය. මේ කියන්නට යන මිනිසුන්ගේ ජීවිතවලින් වැඩි අඩක්‌ ගෙවී යන්නේ අලි කොටි වලසුන් ගහන මහවන මැදය. මැසි මදුරු උවදුරු මරඋගුල් ගහන ඒ මහවන මැද ඔවුහු “අනවසර වගාවක” යෙදෙති. පහත පෙළ ගැසෙන්නේ ඔවුන් කාටත් හොරෙන් කියන ඔවුන්ගේ කතාවය.

මුලින්ම කරන්නේ හේනක්‌ පාදගන්න හොඳ බිමක්‌ හොයන එක. ඒකට දවස්‌ ගානක්‌ තිස්‌සේ මහ කැලේට වැදිල හක්‌කලං කරන්න ඕනෙ. එහෙම කරන්නෙ කැලෑවෙ ඒකට සුදුසු බිම් නැති හින්ද නෙවෙයි. ඒ අතරිනුත් වඩාත්ම හොඳ තැනක්‌ තෝරගන්න තියෙන උවමනාව හින්ද. ඔහොම දවස්‌ දෙකතුනක්‌ මහ මූකලන්වල ඇවිදල වගාවට හොඳ බිමක්‌ තෝර ගන්නවා. එතනදී තියෙන විශේෂම දේ තමයි අහල පහළ වතුර තියෙනවද කියල හොයල බලන එක. අනික තමයි අවට රූස්‌ස ගස්‌කොලන් තියෙනවද නැද්ද කියල බලන එක. කිට්‌ටුවපාත වතුර තියෙන තැනක්‌ තෝර ගන්නෙ වගාවටයි වාඩියෙ අයටයි අවශ්‍ය වතුර ටික ලබාගන්න ඕන හින්ද. අවට රූස්‌ස ගස්‌ නැති තැනක්‌ තෝරගන්නෙ ආරක්‍ෂාව ගැන හිතල. මොකද ගංජා හේන් වටලන්න “මහත්වරු” කැලේට ආවම අවට තියෙන උස්‌ගස්‌වලට නැගල තමයි ඒ අය වටපිටාවේ ගංජා හේන් තියෙනවද? නැද්ද? කියල බලල සැකහැරගන්නෙ.”

එය දිගු හෙළි දරව්වක ඇරඹුම විය. මා ඉදිරියේ වූ නාඳුනන මිනිසාගෙන් වචනයක්‌ ගැනීම ගලකින් පට්‌ටයක්‌ ගන්නවා වැනි අසීරු කාරණයක්‌ය. එයට හේතුව වන්නට ඇත්තේ රටේ නීතිය අනුව ගංජා වගාවත්, අලෙවියත් සපුරා තහනම්ව තිබීමය. එහෙත් ඉහත කාරණ දෙකම අඩුවක්‌ නොමැතිව රට තුළ සිද්ධ වන අතර එවැනි නීතිවිරෝධී ක්‍රියාවන්වල නිරත වූවන් අත්අඩංගුවට ගැනීම සහ දඬුවම් පැමිණවීමේ වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ දක්‌නට නැත. නීතියේ ඇසට වැලිගසමින් සිදු කරගෙන යන නීති විරෝධී ගංජා වගාවේ බොහෝ දෙනෙකු නොදත් පැතිකඩක්‌ වන්නේ තොග පිටින් අත්අඩංගුවට ගැනෙන ගංජා වගාවක්‌ ලෙස උස්‌මහත් වන්නේ කෙසේද, එය කවුරුන් විසින් කොතැන කොයි ආකාරයට සිදු කරනවාද? යන්න පිළිබඳවය.

එම තොරතුරු හෙළිදරව් කර ගැනීම තරමක වෙහෙසකර කාරියක්‌ විය. මා සමීපයේ වන මිනිසා නැවතත් මදින් මද කරුණු හෙළි දරව් කරන්නට විය.

images

ඔහොම කැලේට වැදිල වගාවට හොඳ බිමක්‌ තෝර ගත්තා කියමු. එහෙම තෝරගත්ත හේන් එළි කරගන්න පටන් ගන්නෙ අගෝස්‌තු මාසයත් එක්‌ක එන පෑවිල්ල අල්ලල. හේනක්‌ පාදගන්න සති දෙක තුනක්‌ යනවා. මුලින්ම කරන්නෙ මහගස්‌ ….. කපල දාන එක. මම අර මුලින් කිව්වෙ හේනක්‌ කොටන්න මහගස්‌ තියෙන ඉසව් තෝරගන්නව අඩුයි කියල. ගොඩක්‌ වෙලාවට තෝර ගන්නෙ පඳුරු සහිත තැනිබිම්. මුලින්ම කරන්නෙ පොළොව හදාගන්න එක. මේ දේවල් සිද්ධ වෙන්නෙ කැළෑවෙ මැද්දෑවට වෙන්න. හේතුව තමයි නීතියෙන් ආරක්‍ෂා වීම. අගෝස්‌තුවත් එක්‌ක උදාවෙන “මාස්‌ කන්නය” අල්ලල තමයි මේ රස්‌සාවත් පටන් ගන්නෙ.”

ඔහු පවසන ආකාරයට අප රටේ බහුලව ගංජා වැවෙන ප්‍රදේශ ආශ්‍රිතව උදාවන වියළි කාලගුණික තත්ත්වයත් සමග වගාකරුවන්ගේ සහ ඒ ආශ්‍රිත රැකියාවල නිරත වන කුලී කම්කරුවන්ගේ අතමිට සරුවීමේ කාලයද උදාවෙන්නේය. මාස හයහතක දුෂ්කර වෑයමකින් අනතුරුව අස්‌වනු නෙළා ගැනීමේ අදහසින් ඔවුන් වැඩට බහින්නෙ, ඉන් අනතුරුවය. මුදලාලි කෙනෙකු යටතේ සේවය කරන කම්කරුවන් වශයෙන් රැකියාවේ නිරත වන්නන්ගේ දවසක මහන්සිය රුපියල් පන්දහසක්‌ වන අතර ඇතැමෙක්‌ කොටස්‌ කරුවන් වශයෙන් තම ශ්‍රමය වගාව පිණිස යොදවන්නේය. මේ සියල්ල සිදුවන්නේ මිනිස්‌ පහසින් තොර මහ වනාන්තර මැදය. “තහනම් වගාවක්‌” වූ ගංජා හේනක්‌ අස්‌ වැද්දීමේ සිට අස්‌වනු නෙලීමේ වන දුෂ්කර වෑයම වගවලසුන් ගහන වන බිම් මැද මරණයත් සමග කරන සටනක්‌ බඳුය.

භූමිය සැකසීම ආරම්භ වන්නේ වල්කෙටීමත් සමගය. එය නිමාවන්නේ හේන ගිනි තැබීමෙන් අනතුරුවය. එයට ගතවන කාලය සති දෙක තුනක්‌ අතර කාලයක්‌ය. උදෑසන එන හය හත් දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායම් දවසේ වැඩ හමාර කොට නැවත ගම්බිම් බලා පැමිණෙන්නේ ඇඳිරියත් සමගය.

මේ රස්‌සාව ” රහස්‌ ” රැකගෙන කරන්න ඕන දෙයක්‌. ඒ නිසා තමයි දවසෙ කුලිය විදියට ලොකු මුදලක්‌ ගෙවන්නෙ. කොටින්ම කියනවනම් යන එන අඩිපාර පවා පේන්න තියෙන්න බෑ. මොකද එහෙම වුණොත් වගාව සිද්ධ වෙන්නෙ මොන හරියෙද කියල පිටස්‌තර අය දැන ගන්නවනෙ. ඉතිං සති දෙක තුනක්‌ මහන්සිවෙලා හේන පෑදුවා කියමුකො. ඊට පස්‌සෙ තියෙන්නෙ හේන ගිනි තියන එක. ඒක දවල්ට කරන වැඩක්‌ නෙමෙයි. හේනක්‌ ගිනි තියන්නෙ එක්‌කො බිම්කරුවල පාත් වුණාට පස්‌සෙ. එහෙම තැත්නම් මහ රෑජාමෙ මොකද දවල් කාලෙ හේනක්‌ ගිනි තිබ්බොත් ඉහල නගින දුම්රොටු දිහා බලල මිනිස්‌සු දැන ගන්නව “හේන පාදන්නෙ” අහවල් මංඩියේ කියලා. ඒක ආරක්‍ෂාවට තර්ජනයක්‌. අනෙක්‌ කාරණය තමයි අපි හිතමුකෝ අක්‌කරයක හේනක්‌ කියලා. එහෙම එකක්‌ නම් ගිනිමැල විස්‌සක්‌ තිහක්‌ වගේ වෙන්න පොඩියට මැල හදල තමයි හේන් ගිනි තියන්නෙ එතකොට නගින දුම අඩු හින්ද තමයි එහෙම කරන්නෙ. ඒකට තවත් හේතුවක්‌ තියෙනවා. ඒ තමයි ගින්න පැතිරීම සීමා කර ගැනීම.

දැන් මූලික වැඩ ටික අවසන්. ඊට පස්‌සෙ “වාඩිය” සකස්‌ කර ගන්න ඕනෙ. ඒක මාස හත අටකට හරියන විදියට තමයි සකස ගන්නේ. හයිය හත්තිය තියෙන කනු ඉන්දල වටපරාල ගහල කීපදෙනෙක්‌ ඒ වැඩේ කරද්දී වගාව සම්බන්ධව පලපුරුද්දක්‌ තියෙන කණ්‌ඩායමේ තව කීප දෙනෙක්‌ කරන්නේ “තවාන” හදාගන්න එක. ඇට පැල කරල තවාන හදාගත්තට පස්‌සෙ තමයි පැල හිටවීම කරන්නේ. ඔය අතරේ වගාව සිදු කරන ප්‍රදේශය ආවරණය කරල ආරක්‍ෂිත වැටක්‌ ඉදි කරනවා. තරමක උසමහත ගස්‌ තියෙනවා නම් කඳින් භාගයක්‌ වෙන්න කපල ඒ ගස්‌ ඇල කරල වටේට ආවරණය කරනවා. හැරෙන්න වැට සකසන්න සඳහා අමතර මහන්සියක්‌ ගන්නෙ නෑ. දැන් “භූමිය” සැකසීම තරම්ක දුරට හරි. ඔය අතරේ “තවාන” සාර සුභාවට හිස ඔසවනවා. මේ වෙද්දී අපේ රාජකාරිය වෙන්නෙ හරි හරියට වලවල් කපන එක. නියමිත පරතරය තියල වලවල් ටික කාරිය කපල හේන පිළිවෙලක්‌ වෙන කොට තවත් සති දෙකක්‌ විතර යනවා.

ඔන්න ඔය අතරේ තමයි මහත්තයො. “බෙලිතෝරමල් වැස්‌ස” වහින්නෙ. ආකහේ ඉරිලා බෙලිතෝරමල් වැස්‌ස පාත් වුණාට පස්‌සෙ තමයි පැල හිටවීම පටන් ගන්නෙ. ඔය වෙද්දී ” වාඩියෙ” අපිට වටපිටාව හුරුයි. කොටින්ම කියනව නම් කැලෑව “ගෙදර” වගේ තැනක්‌ බවට පත්වෙනවා. වටපිටාව හුරුයි. මැසි මදුරු උවදුරු, අව්ව වැස්‌ස ජීවිතේ කොටසක්‌ වෙලා අහවරයි. බතක්‌ හොද්දක්‌ ඉදවගෙන මොනව හරි දෙයක්‌ බඩට දාගෙන මහ පොළව සමග හැමදාම ඔට්‌ටුවෙන අපේ ජීවිතවලට මේක මහ අමුත්තක්‌ නෙවෙයි. වගාවට අතුරු අන්තරාවක්‌ නොවුණොත් “මහත්වරුන්ගෙන් බේරිල අස්‌වැන්න” නෙලාගත්තොත් ණයක්‌ තුරහ නොවී ජීවත් වෙන්න පුළුවන් හින්දම මේ රස්‌සාව තෝර ගන්නට මේක මහ පව්කාර රස්‌සාවක්‌ ඒ විත්තිය දැන දැනයි මේ වට හුඟ දෙනෙක්‌ යන්නෙ.

එක වලකට පැල දෙකක්‌ තුනක්‌ වෙන්න හිටවන්න ගන්නවා. ඔහොම හිටවන පැල ටික දවසක්‌ යද්දී හිස ඔසවන්න ගන්නවා. එතනින් අපේ රාජකාරිය ඉවර වෙන්නෙ නෑ. පැල හිටවල මාස පහ හයක්‌ යනකම් දිගටම වැඩ. වල්නෙළන්න. වතුර ටික දාන්න හේනෙ ආරක්‍ෂාව. ඔයවගේ වැඩ තමයි දැන් තියෙන්නෙ. ඔහොම සති කීපයක්‌ ගතවෙද්දි පෝර ටික කාරිය දාල හමාර වුණාට පස්‌සෙ “මල්” ගස්‌ ගලවන්න ඕනෙ. තත්ත්වයෙන් උසස්‌ අස්‌වැන්නක්‌ ලබාගන්න ඔන් හින්දයි එහෙම කරන්නෙ. බෙහෙත් ටික පෝර ටික දාල මාස දෙක තුන යද්දි ගස්‌ටික සාරසුභාවට වැඩෙන්න ගන්නවනේ. ගස්‌ “අතගාන්න” ගන්නෙ අන්න ඒ කාලේට. ගස්‌ අතගානව කියන්නෙ ගහේ මුල ඉඳල ඉහළට ගහට නොරිදෙන විදියට අතගාන එක. එහෙම කරද්දි අතේ “ඉටිවගේ” දෙයක්‌ ගෑවෙනවා. ඒකට අපි කියන්නේ “ඈෂ්” කියල. මහත්වරු කියන්නෙ “හෂීස්‌” කියල. ඒක තමයි හොඳම මිලට යන්නෙ. ඔය වෙද්දි වාඩියෙ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉතුරු වෙද්දි අනෙක්‌ අය ගම්මානෙට යනවා.

මාරුවෙන් මාරුවට තමයි වැඩ. වාඩියෙ ඉන්න පිරිස ගමට ගියාම ඒ අය වාඩියට එනවා. එහෙම වෙද්දි හාල්ටික, කරවල්, තුනපහ ටික ගේනවා. සල්ලි හම්බවෙනවා තමයි. කොටින්ම කියනව නම් මේක මහ පව්කාර රස්‌සාවක්‌. කරන්න දෙයක්‌ නැතිකමට කරන අසමඡ්ජාති වැඩක්‌.

වගාම සාරවත් කරගන්න එක, ආරක්‍ෂා කරගන්න එක තමයි ඔය වෙද්දි තියෙන ප්‍රධාන රාජකාරිය. ඔය වෙද්දි දවසට හත් අට වතාවක්‌ අවට තියෙන උස ගහකට නැගලා අපේ කවුර හරි කෙනෙක්‌ අවට පිරික්‌සනවා. තව පිරිසක්‌ වගාවට සාත්තු සප්පායම් කරනවා. රාත්‍රිය උදා වුණාම මාරුවෙන් මාරුවට නිදිමරමින් හේන් රකිනවා. වාඩියෙ ඇඳ පුටු මේස තියෙන එකක්‌යෑ. ඔය දඬුමැස්‌ස උඩට වෙලා ටික වෙලාවක්‌ ඇහැ පියාගන්නවා. නයා පොලඟගෙන් වගේම නීතියෙන් ආරක්‍ෂා වෙන්න ඕනෑ හින්ද මේ හැම දෙයක්‌ම වෙන්නෙ හරිම නිශ්ශබ්දෙට.

ඔහොම හේනට මාස පහහයක්‌ ගතවුණා කියමු. දැන් එන්නෙ අස්‌වනු නෙලන කාලය. ඒ කියන්නෙ හේන් කපන කාලය. ඒකට අමතර පිරිස්‌ ගන්නවා. වාඩියෙ අයට අමතරව ගන්න “ශ්‍රමයට” ගෙවිම් කරන්නෙ, අස්‌වැන්න කපල වේලුවට පස්‌සෙ දවසෙ මහන්සියට කුලිය විදියට ගෙවන්නෙ අස්‌වැන්නෙම කොටසක්‌ දවසක්‌ වැඩ කලානම් කිලෝ එකයි.

හේන් කපන්න ගන්නෙ, පෑවිල්ලත් එක්‌ක. අක්‌කරයකින් කොච්චර අස්‌වැන්නක්‌ තියෙනවද නැද්ද කියන කාරණය මහත්තයලට වැදගත් වෙන්නෙ නෑනෙ. ඒක කරන විදිය විතරක්‌ මම කියන්නම්. ඔය වෙද්දි ගස්‌ටික හොඳ උසමහතට ඒ කියන්නෙ අඩි හතර පහ උසගිහින්.

මේවා කපන කොට ගොයමක්‌ කපනව වගේ ගොයම් කවි කියකිය කපන එක්‌කයෑ. පණ බයේ ගැහ ගැහි තමයි මේ හැම දෙයක්‌ම වෙන්නෙ. මුලින්ම කරන්නෙ ආරක්‍ෂාව තහවුරු කරගන්න ක්‍රම සහ විධි යොදන එක. ඊට පස්‌සෙ තමයි කපන්න ගන්නෙ. අස්‌වැන්න කපනව වගේම වැදගත් අනෙක්‌ කාරණය තමයි කපන ටික හොඳින් වේලන එක. බඩු ටික කොලිටි වෙන තරමට තමයි “හොඳ මිලක්‌” වදින්නෙ. හොඳින් බඩු ටික වේලගන්න නම් ගල්තලාවකට අරන් ගිහින් පිළිවෙලට අතුරන්න ඕන. වේලෙන වේලෙන ටික මිටි බැඳල පාර්සල් කරන්න ඕන. ඒ හින්ද තමයි හේනේ කපන කාලෙට අමතර ” ක්‍රමය” ගන්නෙ. ඔහොම දවස්‌ ගානක්‌ ගිනිකූටකේ පිච්චි පිච්චි ඔය වැඩටික කරල අමාරුවෙලා තමයි බඩු කොලිටි කරන්නෙ. ඔය වෙද්දි ඔත්තුවක්‌ ගියොත් ඔක්‌කොම කම්මුතුයි. මහත්වරු ආවොත් ඔක්‌කොම මහන්සිය වතුරේ. ඒ හින්ද වේලන වේලන බඩු ටික වාඩියෙන් පිට කරන්න ඕන. ඒකට කියන්නෙ “බංකර්ගහනව” කියලා.තැන් තැන්වල හංගල තමයි බඩුටික ආරක්‍ෂා කරන්නෙ. ඔය වෙද්දි රටේ නීතිය ක්‍රියාත්මක කරන මහත්වරු දන්නවා උදාවෙලා තියෙන්නෙ අස්‌වැන්න කපන කාලය කියලා. ඒ අය වැඩිපුර වැටලීම් කරන්න පටන් ගන්නෙ ඔය කාලයට. ඒ හින්ද තමයි කපල වේලන බඩුටික බංකර්ගහල හරි පරිස්‌සම් කරන්නෙ. මට කියන්න බැරි වුණානෙ බංකර්ගහනව කියලා කියන්නෙ මොකක්‌ද කියලා. ඒ කියන්නෙ කැලේ තැන් තැන්වල වලවල් කපල බඩුටික පොලිතීන් උරවල දාල වළල තියෙන එක. එහෙම වලදාල උඩින් කොළරොඩු දාල තමයි ආරක්‍ෂා කර ගන්නෙ.

ඊටත් පස්‌සෙ තමයි “ඩීල්” එක වෙන්නෙ. බඩුවලට මිල තීරණය වෙන්නෙ කොලිටිය අනුව. ගණන් ඉලක්‌කම් වැඩක්‌ නැති හින්ද ලැබෙන ආදායම කට්‌ටිය අතරේ බෙදීයන විදිය විතරක්‌ කියන්නම්.

කුලී කාරයො විදියට වැඩ කරන අපිට දවසට රුපියල් පන්දාහ ගානේ බේරනවා. දවස්‌ විස්‌සක්‌ වැඩ කලොත් ලක්‍ෂයයි. එහෙම නැත්නම් දවසෙ කුලිය විදියට ගංජා කිලෝ එකයි. ගොඩක්‌ අය කරන්න ඒක මුදලාලිටම දීලා සල්ලි ගන්න එක. ඊට අමතරව කොටස්‌ කාරයො විදියට වැඩ කරන අයගේ ගනුදෙනුව සිද්ධ වෙන්නෙ මෙන්න මෙහෙමයි. මුලින්ම වියදම අයින් කරනවා. ඊට පස්‌සෙ ඉතුරුවන මුදල කට්‌ටිය අතරේ සමසේ බෙදෙනෙවා. එක කොටසකට කීයක්‌ වැටෙනවද කියල තීරණය වෙන්නෙ වදින මිලේ හැටි හැටියට. කොහොමත් සැලකිය යුතු මුදලක්‌ හම්බවෙන හින්ද මේ අවදානම ගැන නොහිතන බය සැක නැති මිනිස්‌සු මේ වෙන කොටත් මහ කැලෑවල මේ රස්‌සාව කරනවා ඇති. මොන සල්ලිය හම්බකලත් මේව “යා දෙන්නෙනැති” හින්දත් අවදානම වැඩි හින්දත් මම මේ කාලකණ්‌ණි රස්‌සාවෙන් අයින් වෙලා දැන් මොනව හරි දෙයක්‌ කරල ජීවත් වෙනවා.

ඔහු දිගු කථාවක්‌ හැකි තරම් කෙටියෙන් පවසා සිටියේය. මේ වන විට ඔහු වනගත ජීවිතයෙන් නිදහස්‌ව සාමාන්‍ය සමාජය තුළ හුස්‌ම ගනිමින් ඇතත් කළ වැරදි හේතුවෙන් හෘද සාක්‍ෂිය තුළ සිරකරුවෙක්‌ බවට පත්ව ඇත. ඔහු පවසා සිටි ඇතැම් දේ තුළ ගැබ්ව තිබුණේ තමන්ට මිදිය නොහැකි වරදකාරී හැඟීමකින් පෙලෙන්නට සිදුව ඇත්තේ තම දරුවන් තිදෙනෙක්‌ මේ වන විට ” ගංජාලෝලින්” බවට පත්වීම පිටුපස තාත්තා කෙනෙකු ලෙස තමන් අතින් සිදු වූ වරද බලවත්බව හැඟêයාම හේතුවෙන්ය.

“ආතල්” පිණිස ගංජා දුමෙන් පෙනහළු පුරවගන්නා පරපුරක්‌ රට තුළ දිනෙන් දින වැඩිවන්නේ නිහඬ වන බිම් අස්‌වද්දා නෙළන අස්‌වැන්න, රාක්‍ෂයෙකු ලෙස සමාජය ගිලගනිමින් තිබෙන නිසාය. අන්කවරදාටත් වඩා ශිෂ්ටත්වය වසං වෙලා ගනිමින් විකෘතීන් බිහිවෙමින් පවතින්නේ දුප්පත්ව ඉපදුන ඉහත තාත්තලාගේ වරදින්ද, ඉහළ මිල ගණන් යටතේ එහෙව් මිනිසුන් මෙහෙයවමින් ජාවාරමේ යෙදෙන මුදු මාල පැලන්දූ බඩතඩි, උසමහත ඉසුරුමතුන්ගේ වරදින් දැයි කියන්නට ජීවත්වීම පිණිස මහ පොළොව මත ඔට්‌ටු වන මිනිසුන්වත් ඔවුන්ගේ දූ පුතුන්වත් තවම දන්නේ නැත.

රුවන් ජයවර්ධන