අබා කොළම

ඇමතිවරුන්ගේ නිල ඇල්ලීම – 


රාජපක්ෂ රෙජිමය පලවා හැර යහපාලන ආණ්ඩුවක් බලයට ගෙන ඒම සදහා පසුගිය ජනවාරි 08 වෙනිදා දක්වා සිවිල් සංවිධාන ඇතුළු මේ රටේ මහජනතාව සුවිශේෂි කැපකිරීමක් කර තිබේ. ජනතාව එසේ කැපකීරීමක් කලේ රාජපක්ෂ රෙජිමය වටා සිටි දුෂිතයින්,හොරුන්,කේවට්ටයින්ද පලවා හැරීමට මිසක් ඒ හොරුන් තක්කඩියන් යලිත් යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමට නොවේ. එහෙත් දෛවයේ කුමක් හෝ සරදමකින් රාජපක්ෂ රෙජිමයේ ලැගගෙන සිටි මැක්කන් සහ කුක්කන් යහපාලන ආණ්ඩුවේ සාරය උරා බීමට පටන්ගෙන තිබේ.

පසුගිය රාජපක්ෂ රෙජිමය වැජඹු බොහෝ සුදු කරපටි නිළධාරීන් යහපාලන රජයෙත්, ඒ පුටුවලම හා වෙනත් ඉහළ පුටුවලට පත් වීම ජනතාව කෙසේවත් අනුමත නොකරන නමුත්, මේ හොරුන්,තක්කඩියන්,යහපාලන රජයේ නව ඇමතිවරුන්ගේ නිල සොයමින් තම පුටුව රැක ගැනීමට මහත් වෙහෙසක් දරති. රාජපක්ෂ රෙජිමය බලයේ සිටින තාක් මොවුන් රාජපක්ෂ රෙජිමයේ පෙරගමන්කරුවන්ය. එසේත් නැතිනම් කසකරුවන්ය.ජනවාරි 08වන දින මධ්‍යම රාත්‍රිය දක්වා මොවුන් දිවි කැප කොට කටයුතු කලේ රාජපක්ෂලාගේ අනාගතය වෙනුවෙන්ය.

එහෙත් අද මොවුන් මෛත්‍රි ආණ්ඩුවේ උරුමකරුවන්ය. මේ වෙනස හදුනාගැනීමට නොහැකි වු මැති ඇමතිවරුන්ද මේ කේවට්ටයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට පෙලඹෙන බවක්ද පෙනෙන්ට ඇත. මොවුන් 1994 චන්ද්‍රිකා රජයේ ආරක්ෂකයින්ය. චන්ද්‍රිකා බලයෙන් ඉවත් වන විට මොවුන් මහින්දගේ දොරකඩය. අද මොවුන් මෛත්‍රිගේ යහපාලනයේ උරුමකරුවන්ය. 1994 සිට සංස්ථ සභාපතිකම්, අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල්කම්, විවිධ උපදේශකකම් ආදී තනතුරු මේ අයට මේ දක්වා ලැබීමේ රහස් කලාව විශ්ව විද්‍යාල පාඨමාලාවකින් හෝ උගන්වනවානම් හරිම වැදගත්ය.ඒ වෙන කිසිම දෙයක් නිසා නොව, ඇමතිවරුන්ගේ නිල ඇල්ලීමේ කලාව පිළිබදව මොවුන් විශාරදයන් වන හෙයිනි.

පසුගිය සතියේ නවක ඇමතිවරුන්ගේ නිල අල්ලා ඇම දුන් සභාපතිවරු ,ලේකම්වරු ගැන සිද්ධි කරලියට පැමිණ ඇති අතර, එක් සිද්ධියක් වනුයේ රුපියල් බිලියන 3කට වඩා වැය වන සංදර්ශණයක් සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ගැනය. ඒ යහපාලන ආණ්ඩුවේ උරුමකරුවන් රාජපක්ෂ රෙජිමයට සේවය කරන කාලයේදී රුපියල් බිලියන සියදහස් ගණන් වැය වන ජාත්‍යන්තර සැණකෙළිද ලංකාවට ගෙන එන්නට ජනපතිගේ පුතුන් කුලප්පු කළේය. මේ කරනම් ගහන පුද්ගලයින්ට රාජපක්ෂ රෙජිමයක් යහපාලන ආණ්ඩුවත් එතරම් කජ්ජක් නොවන බව මේ සිද්ධි වලින් පැහැදිලිය.
අබා –