පොලිස් සැරයන් ආගිය අතක් නෑ

වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයට අනියුත්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු දැනට මාස දෙකකට අධික කාලයක් තිස්සේ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මොහු පසුගිය අගෝස්තු මස 06 වනදින ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ඇති අතර යළිත් ඔහු එදිනම රාත්‍රීයේ වව්නියාව පොලිසිය වෙත වාර්තා කර ඇත.

අදාළ නිළධාරියා අගෝස්තු 07 වන දින නිවසට යන බව පවසමින් වව්නියාව පොලිසියෙන් පැමිණ ඇති අතර ඉන් පසුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව එම නිලධාරියාගේ බිරිඳ මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ දිසානායක මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

මොහු යටතේ පැවැති විශේෂ වැටලීම් ඒකකයට අනියුක්තව මෙම පොලිස් සැරයන්වරයා සේවය කර ඇති අතර අදාළ නිධන් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ විමර්ශන ඒකකය මොහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

මෙම අතුරුදන්විමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරන්වරයාගේ බිරිඳ තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඈත.