භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව – දෙවන දිනය අද

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව ඊයේ  ප්‍රථම වරට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ දෙමටගොඩ චමින්ද හෙවත් රවී ජයනාත් යන අය ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු අධිකරණයට කැඳවා තිබුණි. මෙම නඩුවේ දහවන විත්තිකරු තවමත් අතුරුදන්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් දමිත් සුරංග කුමාරන මහතා ඊයේ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින්

“2011 වසරේ පළාත් පාලන ජන්දය පවතී දිනයේ අංගොඩ රාහුල විද්‍යාලය අසලට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් ජන්දය ලබා දුන්නේ කාටදැයි අසමින් එම ස්ථානයේ සිටි කාන්තාවන් තිදෙනෙකුට පහර දුන් බවත්, එම කාන්තාවන් අතර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ බිරිඳ ද සිටි බවත් ” ප්‍රකාශ කරන ලදී.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිසිම විදියකින් දේශපාලන ඇත ගැසීමකින් තොරව නිතිය හරියට ක්‍රියාත්මක විය යුතු බවත් ඒ අනුව අභාවප්‍රාප්ත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආත්මයට ශාන්තියක් උදාවී තම ජිවිතයටද සැනසීමක් ඉතාම ඉක්මනින් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය.

මෙම නඩුව අද යලි විභාගයට ගැනේ.