වැඩියම ඉන්නේ මහින්ද පත්කළ කට්ටිය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිසත් සමග අමාත්‍යධූරයේ කටයුතු කිරීමට බාධා මතුව ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.ඔහු මේ බව කියා සිටියේ රාවය පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින්.

මේ එම සම්පූර්ණ සාකච්ජාවයි.

වාසු-විමල් කණ්ඩායම හයිබි‍්‍රඞ් එකට දැඩි විරෝධයක් තියෙනවා නේද?

වාසු විමල් වෙලාද, විමල් වාසු වෙලාද කියලා මට හරියට තේරෙන්නේ නැහැ. මොනවා වුණත් නියම වාසු දැන් මැරිලා ඉවරයි. මේ දෙකම දැන් වැඩක් නැහැ. දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජීවිත කාලයම කතා කරපු වාසුදේව නානායක්කාර අද දෙමළ ජනතාවගේ ජීවිත අයිතීන් වෙනුවෙන් කරන්න යන යම්කිසි පරීක්ෂණයකට හිටගන්නේ කොහේද කියන එක අපිට හිතාගන්න අමාරුයි. වාසු-විමල් මේක හයිබි‍්‍රඞ් කියලා විරුද්ධව සටන් කරනවා. තමිල්නාඩුවේ හයිබි‍්‍රඞ් නැති නිසා හයිබි‍්‍රඞ් ඉල්ලලා කෑගහනවා. මේක දේශීය යාන්ත‍්‍රණයක්. අපි පිළිගන්නේ නැහැ කියලා ටැමිල්නෙට් වෙබ් අඩවියත් ඒ පැත්තට කෑගහනවා. දැන් මේ යන්නේ නැවතත් දෙමළ ජනතාව සමූහ ඝාතනයක් කරන්නයි.

දෙමළ ජාතියේ සැබෑ මිතුරන් කවුද, සැබෑ සතුරන් කවුද කියලා දැන් හඳුනාගෙන තිබෙන බව ටැමිල්නෙට් වෙබ් අඩවිය කියනවා. හැමදාම සිදුවුණේ මේකයි. දෙමළ ජාතිවාදීන් හා සිංහල ජාතිවාදීන් එක තැනකදී හමුවෙනවා. මම මෙහෙම කියනකොට ටැමිල් නෙට් එකයි, ගුණදාස අමරසේකරයි විරුද්ධයි. මේ දෙගොල්ලෝ අවසානෙදි එකට ඉඳගන්නවා. දෙගොල්ලොම අන්තවාදී නිසා.
අවුරුදු තිහක කාල පරිච්ජේදයේදි එක හෙළ උරුම කාරයෙකුටවත් එල්ටීටීඊ එක ගලක්වත් ගැහැව්වේ නැහැ. විමල් වීරවංශලාගේ ඇගේ වත් හැප්පුණේ නැහැ. දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වැඩකළ සහජීවනය ගැන කතා කළ මිනිස්සුන්ව එල්ටීටීඊය මරාදැම්මා. චන්ද්‍රිකා කුමාරතුංගට බෝම්බ තිබ්බා. ඇය දෙමළ ජාතියේ අයිතීන් පිළිගත් කෙනෙක්.

වීරවංශලා, අමරසේකරලා වැනි සිංහල ජාතිවාදීන් කියන කතාන්දර එල්ටීටීඊය උතුරේ මාකට් කළා. එහෙම මාකට් කරලා මේ වගේ සිංහල ජාතිවාදීන් එක්ක ජීවත්වෙන්න බැහැ වෙනම රටක් අවශ්‍ය බව කිව්වා. මේ කාරණය පැහැදිලිව අර්ථකථනය කරලා දෙමළ ජනතාවට පෙන්නුවා.

දෙමළ ජාතිවාදීන්ගේ ප‍්‍රභාකරන්ලාගේ කතා මෙහේ පෙන්නලා සිංහල ජාතිවාදීන් දකුණ අවුස්සන්න පටන් ගත්තා. ප‍්‍රභාකරන්ලාට රඳාපවතින්න විමල් වීරවංශලා ඉන්නම ඕනෑ. විමල් වීරවංශලාට රඳාපවතින්න ප‍්‍රභාකරන්ලා වගේ අය ඉන්නම ඕනෑ. අපි ඔය දෙකටම නැහැ. සියලූ ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරගෙන මේ අය අතර සහජීවනය ඇති කරන්න වැඩ කරනවා.

මේ අධිකරණය වෙලාවකට දෙමුහුන් එකක් කියනවා. තවත් වෙලාවක එහෙම එකක් නෙමේ කියනවා.

මහින්ද රාජපක්ෂගේ කාලේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන කතා කළා. අපේ රජය බලයට පත්වුණාට පස්සේ ජාත්‍යන්තර පරීක්ෂණය කියන කාරණය දෙමුහුන් පරීක්ෂණයක් බවට පත්වුණා. අපේ යහපාලන වැඩපිළිවෙළ උඩ ජාත්‍යන්තර පරීක්ෂණය දේශීය පරීක්ෂණයක් බවට පරිවර්තනය කරන්න ජනාධිපතිතුමාට අගමැතිතුමාට පුළුවන්කමක් ඇතිවුණා. දේශීය පරීක්්ෂණ කියන එකෙන් අදහස් කරන්නේ සහභාගිත්වයයි. ශ‍්‍රී ලංකාවේ අධිකරණ බලය යටතේ විශේෂ විමර්ශන කමිටුවක් සහභාගි කරවා ගන්නවා. නඩු විභාගය කරන්නේ අපේ අධිකරණයෙන්.

පසුගිය ආණ්ඩුව යටතේ කතාකෙරුණේ ජාත්‍යන්තර අධිකරණයක්. මහින්ද රාජපක්ෂ ඒ කාලේ නිතරම විදුලි පුටුවක් ගැන කතා කෙරුවේ ඒ නිසයි.

විමර්ශන කමිටුව පිහිටුවීම ආදිය සිදුකරන්නේ අපිත් එක්ක සාකච්ඡුා කරලා අපේ එකඟත්වය උඩයි. තාක්ෂණික සහාය ලබාගැනීම ගැනත්, අධිකරණමය සහාය ලබාගැනීම ගැනත් අපිම තීරණය කරනවා නම් දෙමුහුන් කියන්නේ කොහොමද? එහෙම කියන්නේ ඔළුව අමාරුකාරයෝ.

එක්සත් ජාතීන් මේ කතාකරන්නේ දේශීය යාන්ත‍්‍රණයක් මිස විදේශීය යාන්ත‍්‍රණයක් නෙමේ. කරුණානිධිලා මේකට විරුද්ධ වෙලා කෑකෝගහන්නේ විදේශීය යාන්ත‍්‍රණයක් ඉල්ලලා. මේ යෝජනාවලියේ තියෙන දේශීය යාන්ත‍්‍රණයට ඔවුන් විරුද්ධයි. සියල්ල සිදුවන්නේ අපේ එකඟතාව උඩයි. මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීමේ ක‍්‍රියාවලියක් අපේ රටේ දිගින් දිගටම තිබුණේ නැහැ. ඒක අපේ වරදක්. මහින්ද රාජපක්ෂ කරගත්ත ලොකු වැරැද්දක්.

දැන් මේ බොහොම හොඳ තත්ත්වයක් ඇති කරගෙන තියෙනවා. ඇමරිකාව මුලින්ම දුන් යෝජනාවලියේ බරපතළකම පෙන්වලා එය සරල කරන ලෙස අපි ඉල්ලීමක් කළා. ඒ අනුව අපි දෙගොල්ලම එකතු වෙලා ඉතිහාසයේ පළමුවෙනි වරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒකමතිත්වයෙන් මේ යෝජනාව සම්මත වුණා. අපේ අයියලා කියන විදිහට නම් යූඑන් එකත් මුළු ලෝකයත් වැරදියි. මේ අය විතරයි හරි.

එදා ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලපු යූඑන් එක අද ඉතාම සරල යෝජනාවක් ඉදිරිපත් කරනවා. 2015 ජනවාරි මාසේ පැවති ඓතිහාසික නිදහස් හා සාධාරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය ගැන යූඑන් එක සතුටු වෙනවා.

තාජුඩින් ඝාතන සිද්ධිය සහ එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියේ පරීක්ෂණ ගැන කතාබහක් නැහැ. මේවා මැතිවරණ කාලයේදී පමණක් කතාබහ කරන මාතෘකා බවට පත්වෙලා. මේ පරීක්ෂණවල අලූත්ම තත්ත්වය මොකක්ද?

එක්නැළිගොඩ ඝාතනයේ පරීක්ෂණවල අලූත්ම තත්ත්වය හැටියට බොහෝ කරුණු හෙළිදරව් වෙලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ ඞීඑන්ඒ පරීක්ෂණ විතරයි. ඝාතනය සම්බන්ධයෙන්, අත්අඩංගුවට අරන් තියෙන හතර දෙනාගේම කටඋත්තරවල තියෙනවා.

තාජුඩින් ඝාතනය කළේ කාගේ වුවමනාවටද කියන කාරණයත් පරීක්ෂණය කරන්න තව ඉතුරු වෙලා තියෙනවා. ඒ ටිකත් අපි ඉදිරියේදී හෙළිදරව් කරගන්නවා. මේ පරීක්ෂණ ඉතාම හොඳින් කෙරීගෙන යනවා. මොකද මේවා ගැන අපිත් හොඳ පරීක්ෂාවෙන් අවදියෙන් කටයුතු කරනවා.

පරීක්ෂණ කටයුතු ප‍්‍රමාදයි. මන්දගාමීව සිදුවන බව ජනතාවගෙන් චෝදනා තියෙනවා.

පරීක්ෂණ කටයුතු මන්දගාමී නැහැ. ඒවා නිසිකලට නියම පිළිවෙළට සිදු කරනවා. මිනිසුන්ට ඕනෑ විදිහට මීඩියාවලට කියකියා රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ නැහැ. අපි නම් ඉස්සර හිතුවේ එහෙම තමයි. එහෙත් මේවායේ පරීක්ෂණ කටයුතු අවශ්‍ය විදිහට සිදුවෙනවා.

තාජුඩින් ඝාතනය කළ අය තමන් එය කළ බව පිළිඅරන් තියෙනවා. ඔවුන් රජය වෙනුවෙන් සාක්ෂි දෙන්නත් දැන් සූදානම්.
එක්නැළිගොඩ ඝාතනයේ පරීක්ෂණවල තත්ත්වය කොහොමද?

එක්නැළිගොඩගේ සැක කරුවන්ගෙන් තවමත් ප‍්‍රශ්න කරන්නේ නියෝග දුන්නේ කවුද කාරණය පිළිබඳවයි.

යහපාලන ආණ්ඩුවේ ඉදිරි කටයුතු කෙරෙන්නේ කොහොමද?

ආර්ථික සංවර්ධනය කියන කාරණයට වැඩි අවධානයක් දෙනවා. ආර්ථිකය කියන කාරණයේදී මෙතෙක් කල් අවධානය තිබුණේ විශාල පහසුකම් වර්ධනය කරන්නයි. ඉදිරි අයවැය ලේඛනයෙන් අපි වැඩියෙන්ම මුදල් වැය කරන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය කියන කාරණාවලට. අපි අපේ ආර්ථික ඉලක්ක හඳුනාගෙන යනවා. විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක් තහවුරු කළ යුතුව තියෙනවා. නිදහස් අධ්‍යාපනයක් කියන කාරණය ගැන අපි වැඩි අවධානයක් යොමු කරනවා.

තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත ළඟඳීම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. වැඩිම වුණොත් අගමැතිතුමා ලංකාවට ආවාම මේ කාරණය සිදුවෙනවා.

හිටපු ජනාධිපතිවරයා වගේම වත්මන් ජනාධිපතිවරයාත් ප‍්‍රචාරක වැඩපිළිවෙළට බැනර් කටවුට් පාවිච්චි කරනවා නේද?

ප‍්‍රචාරයක් නැතුව රජයක් විතරක් නෙමේ කිසිම වැඩපිළිවෙළක් කරන්න බැහැ. අපි රජයක් බිහිකළා කියලා අපේ දේශපාලන වැඩපිළිවෙළ නතර කෙරුවෙත් නැහැ. ප‍්‍රචාරක වැඩ අපි නතර කළොත් ඒක මහින්ද රාජපක්ෂ අතට ගනියි. අපි අපේ දේශපාලනයේ ප‍්‍රචාරක වැඩපිළිවෙළ ඉස්සරහට කරගෙන යනවා. මේ වැඩවලට අපි මහජන මුදල් භාවිත කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගෙයි අපෙයි තියෙන වෙනස මේකයි.

එදා මහින්ද රාජපක්ෂ කටවුට් ගැහැව්වේ රජයේ ආයතනවල සල්ලි අරන්. අද ජනාධිපතිතුමා වෙනුවෙන් එක පත්තර දැන්වීමක්වත් දමන්න එපා කියලා සියලූම රාජ්‍ය ආයතනවලට නියෝග නිකුත් කරලා තියෙනවා. කටවුට්, බැනර් ගහන වැඩ කරන්නේ දේශපාලන පක්ෂවලින්. පහුගිය කාලේ ජනාධිපතිතුමා ජිනීවා ගිහින් ලංකාවට එන අතරතුර ගහලා තිබූ කටවුට් සමහර ඒවා ශ‍්‍රීලනිපයෙන් ගැහැව්වා. පුද්ගලිකවත් අපේ හිතවතුන් ඉදිරිපත් වෙලා මේ වැඬේ කළා.

ජනාධිපතිතුමාගේ නිලනිවස අලූත්වැඩියා කරන්න පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි ගණනක් ඉල්ලූවා. සරල අල්පේච්ඡු ජීවිතයක් ගැන කතා කරලා මෙවැනි විශාල මුදලක් ජනාධිපතිවරයාගේ නිල නිවසට යොදා ගැනීම යහපාලන ආණ්ඩුවට හොඳ නැහැ නේද?

මේ කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් නාස්ති කරන එතුමා වෙනුවෙන්ම වෙන්කරලා තියෙන ජනාධිපති මහින්දරයට එතුමාට යන්න තිබුණා. එතුමාට කියලා කොළඹ වෙනත් නිල නිවසක් නැහැ. හිටපු ජනාධිපතිවරයා පාවිච්චි කළ නිල නිවස පුළුල් කරගෙන එතැන පදිංචියට ගියා. එහි වහලේ ඉඳලාම අබලන් තත්ත්වයක් තියෙනවා. ජනාධිපතිවරයාට එහෙම ජීවත්වෙන්න බැරි නිසායි මේ නිවස අලූත්වැඩියා කරන්න අවශ්‍ය. ජනාධිපති මන්දිරය පාවිච්චි කරන්නේ රාජ්‍ය උත්සවවලට විතරයි.

අලූත්වැඩියාවට මුදල් යොදවන්නේ නැතුව ජනාධිපති මන්දිරයේම එතුමාට ජීවත් වෙන්න පුළුවන් නේද?

එහි දෛනික නඩත්තු මිල ඉතාම අධිකයි. එතුමා දැනට පදිංචිව සිටින නිවස අලූත්වැඩියා කිරීම බොහොම සරලයි. එදා ජනාධිපති මන්දිරයේ අපිට කෑමවේලක් දෙන්න කළ වියදමත්, අද කරන වියදමත් අතර විශාල වෙනසක් තියෙනවා.

ජනාධිපතිවරයාට වාහනයක් ගන්න බව පරිපූරක ඇස්තමේන්තුවෙන් කළ ඉල්ලීම මාධ්‍ය මගින් සඳහන් වී තිබුණා.

ඔව්, වාහනයක් ගන්නත් අවශ්‍යයි. ජනාධිපතිවරයා පාවිච්චි කරන හොඳම වාහන කිහිපයක්ම මහින්ද රාජපක්ෂ අරන් ගිහින්. අපේ ජනාධිපතිතුමාට හම්බවුණේ පරණම වාහන. වාහන විතරක් නෙමේ විශාල ආරක්ෂක භට සංඛ්‍යාවකුත් මහින්ද රාජපක්ෂ තියාගෙන ඉන්නවා. එයා හැසිරෙන්නේ තවත් ජනාධිපතිවරයෙක් විදිහටයි. මහින්ද රාජපක්ෂ කොහේට හරි ගියාම මිනිස්සු හිතන්නේ ජනාධිපතිතුමා ඇවිත් කියලා. ඒ තරමටම ආරක්ෂක භට පිරිසකුත් වාහනත් එයා පාවිච්චි කරනවා.

හිටපු ජනාධිපතිවරයාට මේවා පාවිච්චි කරන්න ඉඩදීලා බලා ඉන්නේ ඇයි?

හිටපු ජනාධිපතිවරයාත් වත්මන් ජනාධිපතිවරයාගේ පක්ෂයේ කෙනෙක් නිසා එයත් මොකවත් කියන්නේ නැතුව බලන් ඉන්නවා.
ජනතාවගේ දේපල පක්ෂවල අයට එකතුවෙලා කාබාසිනියා කරන්න නෙමේ නේද මේ ආණ්ඩුව පත් කළේ.

මම කියන කතාව තමයි ඇත්ත. යූඇන්පී ආණ්ඩුවක් පත්වුණා නම් මේ විදිහට වැඩ කරන්න බැහැ. අපි මේ කිසි දෙයක් කරන්න දෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ ඔය විදිහට හැසිරෙන්නෙත් නැහැ. ‘මගේ ඇමතිනේ මේ ජනාධිපති වෙලා ඉන්නේ’ කියන මානසිකත්වය මහින්ද රාජපක්ෂගේ ඔළුවේ තියෙනවා. අපි තවත් පරිබාහිර ගැටුමකට යන්නේ නැහැ. අපේ බොහෝ කරුණු කාරණා ක‍්‍රියාකාරකම් පරීක්ෂණ තීරණ තීන්දු ගන්න වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ කට්ටියත් එක්ක. ආරක්ෂක අංශයේ තුන් කාලකටත් වැඩියම ඉන්නේ මහින්ද රාජපක්ෂ පත් කළ කට්ටිය.

ආණ්ඩුවේ අනිත් දේවල් තීරණය වෙන්නෙත් මේ විදිහටමද?

නැහැ. එහෙම නැහැ. ඒ්ත් අපි කරන්න යන බොහෝ දේවල්වලට බාධක තියෙනවා. බොහෝ දූෂණ, වංචා හා සැකකරුවන් පිළිබඳ අපි පරීක්ෂණ කරන්නේ මහින්ද රාජපක්ෂගේ කට්ටියත් එක්ක. අපිට දුෂ්කරතා තියෙනවා