ඉන්දියන් කලාපයේ මත් මර්දන නිලධාරීන් රැස්වේ

ඉන්දියානු සාගර කලාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්දන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ආරම්භ විය.

මෙම සම්මන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.

පැමිණ සිටි දෙස් විදෙස් නියෝජිතයන් ඇමතූ නාවික හමුදාපතිතුමන්, සාගරික මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ ව අවධානයෙන් පසුවීමේ වැදගත්කම පෙන්වාදෙමින් “සාගරික මත්ද්‍රව්‍ය ජාවාරම : තිරසාර විසඳුමක් සෙවීම” යන මාතෘකාව ඔස්සේ , එම ජාවාරම මැඩලීමේ ඇති අභියෝග සහ නව ප්‍රවනතාවයන් පිළිබඳව පැහැදිලි කළේය. වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම ගැටළුවට තිරසර විසඳුමක් සෙවීමේදී සාගරික කලාප පිළිබඳ ව දැනුවත්වීම හා සුපරීක්ෂාකාරීවීම, තත්කාලීන බුද්ධි තොරතුරු හුවමාරුව, සහයෝගීත්වය සහ සම්බන්ධීකරණයෙහි ඇති වැදගත්කම යන අංශ පිළිබඳ ව අවධානයෙන් පසුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද ඔහු අවධාරණය කළේය.

ඉන්දියානු සාගරික කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩළීම සඳහා කලාපීය සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ පරමාර්ථයෙන් සංවිධානය කෙරුණු මෙම තෙදින සම්මන්ත්‍රණය සඳහා රටවල් 21ක සහ සංවිධාන 7ක ඉහළ තනතුරු දරණ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. සම්මන්ත්‍රණයේ අවසන් දින යාත්‍රාවලට ප්‍රවිශ්ඨවීම සහ ඒවා සෝදිසි කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ ව දේශනයක් පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරාය පරිශ්‍රයේ දී ඒ පිළිබඳ නිරූපණයක් ඉදිරිපත් කිරීමට ද කටයුතු සලසා ඇත.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මහත්වරු ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.