මෑතිවරණයට ප්‍රධාන පක්ෂ වෙන වෙනම සුදානම් …..

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරවීමේ වගකීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සියතට ගෙන ඇත.

මේ වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතු නොවැම්බර් 01 වන දින ආරම්භ වන අතර එහි නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වෙත පැවරී ඇත.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 වන දින මූලික විෂය පථ 4ක් ඉලක්ක කරගත් සමාජ සංවර්ධන ව්‍යාපෘතිය අනුරාධපුරයෙන් ආරම්භ කළේය.

අනුරාධපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු හමුවීමට සමගාමීව ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීම සඳහා ඔහු මුල පුරා තිබිණි. එදිනම මහ නුවර දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවක් ද 16 වන දින පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිබිදෙන පොළොන්නරුව නමින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබීය.

මතින් නිදහස් රටක්, වකුගඩු රෝග නිවාරණය, දේශීය ආහාර නිෂ්පාදනය, පරිසරය සුරක්ෂිත කිරීම ජනාධිපතිවරයා මූලිකත්වය දෙනු ලබන විෂය පථ හතරය. මේ අනුව සෑම දිස්ත‍්‍රික්කයකම විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කෙරෙනු ඇත.

මේ අතර පසුගිය පාලන සමයේ දී වූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. විශේෂයෙන්ම මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ඇවන්ගාඩ් සමාගමේ අවි ගබඩා පවත්වාගෙන යාමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් නැවත විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අදාළ අංශවලට උපදෙස් දී ඇත. ආණ්ඩුව තුළ මෙම ඇවන්ගාඩ් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගැටුම්කාරීත්වයක් ද ඇති බව වාර්තා වන අතර එක් කණ්ඩායමක් මේ ප‍්‍රශ්නය යට ගැසීම සඳහා උත්සාහ කරමින් සිටින බව ද වාර්තා විය.

ඒ අතර එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකුම සිටින බවත් හෙළිව තිබේ. මේ තත්ත්වය මත මෙම පරීක්ෂණවල දී කිසිවකුටවත් කිසිදු බුරුලක් ලබා නොදී දැඩිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බවත් වාර්තා වේ. එසේම වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු සම්බන්ධයෙන් එල්ල වන දූෂණ අක‍්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතී.

මේ අතර පසුගිය දා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප‍්‍රධානියකු ඉවත් වීම සම්බන්ධයෙන් ඇති වූ ගැටුම්කාරීත්වයෙන් පසුව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එහි අධ්‍යක්ෂවරයකු අමතා මීට වඩා විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව දැඩිව කියා තිබේ. එසේ නොවුණ හොත් අමාත්‍යාංශය පවරා ගැනීමට සිදු වන බවත් අවධාරණය කර ඇති බව දැනගැනීමට තිබේ.

(සත්හඬ)