නිල්මිණි එක්‌ක හදිසියේ ඩුබායි යන්නේ මොකටද?

තොගේට release කරපු CD නැති උනාට සිංදු හුඟක්‌ නොතිබුණාට අදටත් ඔහු ජනප්‍රිය ගායකයෙක්‌. දවස ගානේ හැම ටෙලියකම, චිත්‍රපටයකම දකින්නට නොහිටියාට ඔහු දක්‌ෂ රංගන ශිල්පියෙක්‌. හැබැයි ඉතිං මේ කොයි කාරණාවටත් වඩා මධුමාධව අරවින්ද කතා බහට ලක්‌වෙන්නේ දේශපාලනය නිසා.

ඒක හින්දා කොයි දේටත් කලින් දේශපාලනය ගැන කතා කළොත්නේ හොඳ…?

ඒ ගැන නම් ඉතිං කතා කරලත් බැහැ. නොකරත් බැහැ….

ඇයි ඒ.?

මොකද අපි මේ කතා කරන්නේ මට ලැබෙන්නට තිබූ මන්ත්‍රී ධුරය පවා අහිමිවුණු මොහොතක.

අහිමි උනාද? අහිමි කළාද?

සත්‍ය නම් අහිමි කළා. මං මන්ත්‍රී ධූරය රැකගන්න campaign කළේ නෑ. වරදාන වරප්‍රසාද අරගෙන මගේ ප්‍රතිපත්ති පාවා දුන්නෙත් නෑ. මං එහෙම කළා නම් ඒක මගේ පසුම්බියට ගෙදරට වාසි වෙන්න තිබුණා. ඒත් හෘද සාක්‌ෂියට එකඟ නැති දේ මං කරන්නේ නෑ. දේශපාලනයේදී මං තාමත් පැළවෙන ගහක්‌. ඒ නිසා මේ සියලු වෙඩි උණ්‌ඩවලට ඉවසීමෙන්, ශක්‌තිමත්ව මුහුණ දෙනවා.

කලාවෙන් අසාර්ථකයි කියලා හිතිලද දේශපාලනයෙන් ගමනක්‌ යන්න හිතුවේ?

අනේ නෑ.. මට කලාව එපා වෙලත් නෑ. අසාර්ථක වෙලත් නෑ. අපි හැමෝටම දේශපාලන මතයක්‌ තියෙනවා. අපි ඒ ඔස්‌සේ කටයුතු කරනවා. මං දේශපාලනය කරන්නේ සිංහල ජාතිය වෙනුවෙන්.

06. මධු කලාවෙන් දුරස්‌වෙලා නෑ කිව්වට, කෝ මෑතකදී කරපු දෙයක්‌ නෑනේ..

හැමෝම දොස්‌ කියනවා මට ඔයා වගේම, මධු හැමදේම කරනවා කලාව ඇරෙන්න කියලා. කවුරු උනත් හරි දෙයක්‌ කිවුවොත් මං ඒක පිළිගන්නවා. පිළිගන්නවා විතරක්‌ නෙමෙයි කළ යුතුදේ කරනවා. ඒ හින්දා අලුත් ගීත දෙකක්‌ ළඟදීම release කරනවා. “ආලෙන් වෙලා ගන්න” වැනි ජනප්‍රිය ගීත රැසක්‌ නිර්මාණය කළ මාධව හේවාවසම් පද රචනය කර සංගීතවත් කළ ගීත නිර්මාණ දෙකක්‌ තමයි මේ. හරිම ලස්‌සනයි..

ඒ ගීතවලින් කියවෙන්නේ මධුමාධව අරවින්දගේ ජීවිත කතාවද?

අනේ මන්දා.. මටත් එහෙම හිතුන වෙලාවලුත් තිබුණා. අයෙත් ඒක එහෙම නෙවයි කියලත් හිතුණා. මාධව හිතා මතා මට ගීතයක්‌ රචනා කළාද… එහෙමත් නැත්නම් ඒක අහම්බයක්‌ද? එහෙමත් නැත්නම් අනාගත ප්‍රශ්නයකට උත්තරයක්‌ද? හිතා ගන්න බෑ. ඒත් මොකුත් නමුත් විශේෂත්වයක්‌ ඒ ගීතවල තියෙනවා. අහලම බලන්නකෝ.

එච්චරද කළ කටයුතු ?

නෑ… මං පොත් දෙකක්‌ ලියාගෙන යනවා.

මොනවා ගැනද?

එකක්‌ ලෝක ඉතිහාසය සහ වර්තමානය සසඳමින් රචනා වෙන පොතක්‌. අනික අරවින්ද යාය කියන මගේ තීරු ලිපි සංග්‍රහය….

හ්ම්…. දැන් කියන්නකෝ බලන්න?

මොකක්‌ද…..

නිල්මිණි එක්‌ක හදිසියේම ඩුබායි යන්නේ මොකටද කියලා ?

ආ….. දැන්නේ බලලා මල්ලෙන් එලියට පැන්නේ… මං මේ ඇත්තමයි කියන්නේ. මාත් ඔය ගැන දැනගත්තේ ඊයේ. ඒ දැනගත්තෙත් සයිබර් වලින්.

ඒ කියන්නේ ඒ කතාව බොරුද..

බොරු නෙමෙයි. නිරෝෂන් කියන මගේ මිත්‍රයා මට ආරාධනා කළා ඩුබායිවල ප්‍රසංගයකට. flash back සංගීත කණ්‌ඩායම සහභාගීවෙන. ඉතින් ඒකට විශ්ව කොඩිකාර, අමල්, රයිනි වගේම නිල්මිනිටත් ආරාධනා ලැබිලා. ඕක තමයි මේ කතාවට මුල.

ඔය සංචාරයෙන් පස්‌සේ ජීවිතේ විශේෂ තීරණයක්‌ එහෙම ගන්න හිතාගෙනද ඉන්නේ… නිල්මිනියි මධුයි එක වහලක්‌ යටට එන්න වගේ ?

තාම නං එහෙම හිතලා නෑ…

එහෙම හිතුවොත් නරකද ?

කාලයට ඉඩ දෙන්න ඕන හැමදේටම… මං දන්නේ නෑ අනාගතේ ගැන. අපි බලමු.

මොකද අපේ රටේ මිනිස්‌සු හරිම ආදරණීයයි. දෙන්නෙක්‌ එකතු වෙන එක ලස්‌සනයි, වෙන් වෙන එක හොඳ නෑ කියලයි හිතන්නේ. ඇත්ත. ඒත් ඉස්‌සෙල්ලා මේ තියෙන තුවාල සනීප කරගෙන ඉන්න ඕන.

ශ්වේතා නිසාවත් ?

හ්ම්…. දවසක මං මැරෙයි කියලා හිතෙද්දී මතක්‌ වෙන්නේ ශ්වේතාව. දූගේ හිනාව, එයාගේ බලාපොරොත්තු, එයාගේ දිලිසෙන ඇස්‌ මාව කොහාට එක්‌කරගෙන යයිද කියන්න බෑ. මං දූ වෙනුවෙන් ලියපු ගීතයකුත් තියෙනවා… ඒකත් ඉදිරි කාලයේදී අහන්න ලැබේවි.

මධු කැමති ශ්වේතා අම්මා වගේ නිළියක්‌ වෙනවටද? තාත්තා වගේ ගායනයට යොමු වෙනවටද?

“මං මේ ගායන වෘත්තියවත් රංගන වෘත්තියදී හෑල්ලූ කරනවා නෙමෙයි. මං කැමති නෑ ශ්වේතා වෘත්තීය විදිහට මේ දෙකෙන් එකක්‌වත් තෝරා ගන්නවට. මොකද ආදරණීයව මේ වෘත්තියේ නියෑලෙන්න පුළුවන්. සල්ලියි බලයයි තමයි හැමදේම. ඒකයි මං ඒකට අකමැති. හැබැයි මගේ ඇස්‌ පියවෙන්න කලින් දූ වේදිකාවක ගීතයක්‌ ගයනවා දකින එක මගේ හීනයක්‌. ඇයට එච්චරටම ලස්‌සන කටහඬක්‌ තියනවා. ගීත ගැයීමේ සුවිශේෂී හැකියාවක්‌ මං දකිනවා. මට ඕන ඇය ජීවිතය විඳින්න. මං කියන්නේ නෑ ශ්වේතාට ජීවිතය වරදින්න එපා කියලා. මට ඕන වැරදි හදාගෙන ඉස්‌සරහට යන්න ඇයට පුළුවන් වෙන්නයි.

මධුට තාම අවුරුදු 26යි කියන්නේ…

ඔව්… හරියටම හරි. මට නෙවෙයි මධු මාධව අරවින්ද කියන ගායකයාට දෙසැම්බර් 31 වැනිදාට හරියටම අවුරුදු 26යි. 1989 දෙසැම්බර් 31 වෙනිදා තමයි මගේ සිත් සිත් ගීතය ප්‍රචාරය වුණේa. එදායින් පස්‌සේ තමයි මගේ ජීවිතේට වසන්තය උදා වෙන්නේ….

සයිබර් අවකාශයේ පළවුණු තොරතුරු නිසා phone එකට නම් නිවනක්‌ නෑ නේද?

මං ඇත්තටම ඒ දේවල් එතරම් ප්‍රශ්න විදිහට හිතන්නේ නෑ. ඒත් සමහර උදවිය තව කෙනකුගේ ජීවිතය ගැන වගකීමක්‌ නැතුව තොරතුරු බෙදා හරිනවා. විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම එවැනි දේවල් නොකළ යුතුයි. camara එකක්‌, computer එකක්‌, පෑනක්‌ අතේ තිබුණ පලියට, තමුන්ගේ මූණ පේන්නේ නැති උනාට තව කෙනකු අපහසුතාවට පත්වෙන දේ නොකළ යුතුයි. ඒ හික්‌මීම මනුස්‌සකම අපි කවුරු ළඟත් තියෙන්නට ඕන. මේක මගේ ඉල්ලීමක්‌…..

යුගන්ති යශෝධරා