ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මෙවරද ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඊයේ රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී පැවති වර්ණවත් සම්මාන උළෙලේදී හිමි විය. පසුගිය වසරේ ද මෙම සම්මානය මැතිව්ස් ලබා තිබිම විශේෂත්වයකි.
ඊයේ ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රියේ නායක මැතිව්ස්ට සම්මාන පිට සම්මාන ලැබිමද කැපී පෙනුණේ හොඳම ටෙස්ට් පිතිකරු සම්මානය, එක්දින තුන් ඉරියව් ක්‍රීඩක සම්මානය හා එක්දින දක්ෂතම පිතිකරු සම්මානයද ඇතුළුව සම්මාන 4 ක් ලැබුණ හෙයිනි. මැතිව්ස් පසුගිය වසරේ ද එක්දින හොඳම පිතිකරු හා තුන් ඉරියව් ක්‍රීඩකයා විය.
28 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ටෙස්ට් තරග 53 ක් ක්‍රීඩා කොට ලකුණු 3849 ක් ලබා සාමාන්‍ය 52.01 ලෙස රඳවා සිටින අතර එක්දින තරග 161 ක් තුළ ලකුණු 3915 ක් ලබා සිටී. මේ වන විටත් ටෙස්ට් ශතක 7 ක් හා අර්ධ ශතක 22 ක් ද සමගින් දක්ෂතා දක්වා ඇති මැතිව්ස් නායකයකු ලෙසට මෑතකාලීනව කැපී පෙනෙනුයේ මැද පෙළ වඩාත් සාර්ථක පිතිකරණයක ද යෙදීම හේතුවෙනි.
වසර 2015 දී විස්ඩන් ක්‍රිකට් සම්මානයද ලැබූ මැතිව්ස් ඊයේ ඩයලොග් වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතරේ වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා බවටද මෙවරද පත් වූයේ සුපිරි පාදඟ පන්දු යවන්නා වූ රංගන හේරත්ය. ඔහු ද මෙම සම්මානය පිට පිට දෙවැනිවර ලබා ගැනීම විශේෂත්වයකි. පසුගිය කොදෙව් ප්‍රථම ටෙස්ට් තරගයේ ද වීරයා ලෙස කඩුලූ 10 ක් තරගයේ දී ලැබූ රංගන මේ වන විට ටෙස්ට් කඩුලූ 288 ක් ලබා සිටී. මේ අතර එක්දින හොඳම පන්දු යවන්නා සම්මානය පිට දඟපන්දු යවන අජන්ත මෙන්ඩිස්ට ලැබිම ද කැපී පෙනෙනුයේ 2014 දෙසැම්බර් 10 දා එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් පසුව කිසිම තරගයක් මතෛක් ක්‍රීඩා කොට නැති හෙයිනි. දැනට එක්දින තරග 83 කදී අජන්ත කඩුලූ 148 ක් ලබා ඇත්තේ සාමාන්‍ය 21.17 ක් ලෙස පවත්වා ගනිමිනි. කෙසේ වුවත් ඔහු මෑත කාලීනව ආබාධයන්ට ලක්වීම තුළ තරගවලට සහභාගි වීමට අවකාශ නොලැබුණි.
මේ අතර ඕවර විස්ස – 20 හොඳම පිතිකරු ලෙස ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සම්මාන ලැබිමද ඕවර විස්ස – 20 හොඳම පන්දු යවන්නා ලෙස නුවන් කුලසේකර පන්දු යැවීමද කැපී පෙනේ.
කාන්තා ක්‍රිකට් එක්දින හොඳම පිතිකාරිනිය ලෙස ශ්‍රී ලංකා කාන්තා පිලේ උපනායිකාව චමරි අතපත්තු සම්මාන ලැබූ අතරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීර සම්මාන ලැබූ අතර දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස එෂානි කෞෂල්‍යා ලොකුසූරිය සම්මානයට පාත්‍ර විය. දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රිමියර් ලීග් හා ප්‍රිමියර් එක්දින ශූරයන් හා අනුශූරයන් එම තරගාවලියන්හි දක්ෂතම පිතිකරු, පන්දු යවන්නා හා තුන් ඉරියව් ක්‍රීඩකයන්ද, 1 කොටසේ මෙන්ම 2 කොටසේ ද සම්මාන ලැබූ මෙම සම්මාන රාත්‍රියේ දී ක්‍රිකට් විනිසුරුවන්වද සම්මානයට පාත්‍ර කිරීම වැදගත් කරුණකි. ඒ අනුව ප්‍රිමියර් 1 කොටසේ දක්ෂතම විනිසුරු ලෙස රෝහිත කොට්ටහච්චි සම්මාන ලබද්දී ඔහුගේම සොහොයුරු කපිල කොට්ටහච්චි 2 කොටසේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබිම කැපී පෙනුණි. 3 කොටසේ දක්ෂතම විනිසුරු වූයේ විදුර ප්‍රසාද්ය.
ඊයේ මෙම සම්මාන උළෙලේ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් තිදෙනකුට විශේෂ උපහාර ලබා දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඩයලොග් ආයතනය හා එක්ව කටයුතු කොට තිබුණි. ඒ අනුව ලක්බිම ක්‍රීඩා කර්තෘ මංගල ධර්මපේ‍්‍රම, දිනමිණ ක්‍රීඩා කර්තෘ වර්නන් ගුණසේකර හා සන්ඬේ ටයිම්ස් ක්‍රීඩා කර්තෘ එස්. ආර්. පතිරවිතාන ද සම්මානයට පාත්‍ර වූයේ මතෛක් ක්‍රීඩා මාධ්‍යයට කරනු ලැබූ අනුපමේය සේවය වෙනුවෙනි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රධාන අමුත්තා වූ මෙම සම්මාන උළෙලට ඔහු පසුගිය සතියේ දී විදෙස්ගතව සිට කෙළින්ම ඊයේ පැමිණ සහභාගි වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුනි ඇතුළු නිලධාරින්ද, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර, අනුග්‍රාහක ඩයලොග් අසියාටා ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජේසූරිය සමූහ අලෙවි කළමනාකාර අමලි නානායක්කාර ඇතුළු ඩයලොග් හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්, ක්‍රීඩිකාවන් මෙන්ම හිටපු ක්‍රීඩකයන්ද පුහුණුකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඊයේ මෙම සම්මාන උළෙල රූපවාහිනී ”අයි” චැනලය ඔස්සේ සජීවීව විකාශ කිරීමටද ඩයලොග් සංවිධානය කර තිබිම කැපී පෙනුණි.
ධම්මික රත්නවීර