ඉන්දියන් ජාතිකයකු සමග පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචාකර සාවද්‍ය පරිහරණය කළැයි කියන ටෙලි නාට්‍ය නිළි ආක්ෂා සුදාරි නමැත්තිය එම මුදල් ඇගේ මිතුරන් සමග තරුපහේ හෝටල්වලට ගොස් වියදම් කළ බවට ප්‍රකාශයක් ලබාදී ඇතැයි ඊයේ (29* රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
එසේම අදාළ මුදල් තමා විසින් එදිනෙදා වියදම් සඳහා යොදාගත් බවත් මිල අධික ඇඳුම් පැලඳුම් සහ භාණ්ඩ මිලට ගැනීමත් සිදුකරන ලදැයි ඇය විසින් වැඩිදුරටත් ප්‍රකාශ ලබාදී ඇති බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.
රහස් පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ මෙම කරුණු අනාවරණය කරනු ලැබුවේ එම සිද්ධියට අදාළ වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (29* අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීය.
එසේම මෙම සැකකාරියට අධිකරණයෙන් ඇප කොන්දේසියක් වශයෙන් පනවා තිබූ සෑම ඉරු දිනම රහස් පොලිසියේ පෙනී සිටීමේ කොන්දේසිය ලිහිල් කර දෙන ලෙස ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ සරත් සොයිසා මහතා මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
සැකකාරියට ඇප ලබාදීමේදී ඇප කොන්දේසියක් වූ මෙම නියෝගය ඉවත් කිරීමට නම් ඇය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පොලිසිය මගින් කැඳවිය යුතු බව මහෙස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.
එසේම ඇය පොලිසියට නිසි පරිදි වාර්තා කළේද නැද්ද යන්න සම්බන්ධයෙන්ද අදාළ පොලිස් වාර්තාවට ඇතුළත් කර ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළහොත් එම ඉල්ලීම පිළිබඳව සලකා බැලිය හැකි බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිද්ධියේ පැමිණිලිකරු වූයේ නො. 35, කාම්රාජ් නගර්, චෙන්නායි 39, තමිල්නාඩු, ඉන්දියා පදිංචි ගෝපිරාජ් කවලන්ගිල් වඩකිප් (54* නමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්.බි. පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරිවරයාය. ඔහු ඉකුත් 2014 මැයි මස 21 වැනිදා රහස් පොලිසිය වෙත මෙම පැමිණිල්ල සිදුකර තිබිණි.
ලංකාවේ පදිංචි ටජ්මාල් බැක් නමැති තම මිතුරකුගේ මාර්ගයෙන්ිආක්ෂා සුදාරි’ නොහොත් ආශා කුමාරි යන අය 2014 ජුනි මස දී හඳුනාගෙන ඇති බවත් ඇය සමග ඇති කරගත් පේ‍්‍රම සබඳතාවක් හේතුවෙන් ව්‍යාපාර සඳහා යැයි තමාගෙන් මුදල් ඉල්ලූ බවත් පැමිණිලිකරු තම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.
එසේම මෙම සිද්ධියට අදාළව ඉකුත් 16දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඉන්දීය ජාතිකයකු වූ ආශිෂ් ජාවිඞ් නමැත්තා විසින් ප්‍රකාශයක් ලබා දුන් බවද රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දී තිබිණි.
ඒ අනුව මෙම ආශිෂ් යන අය සැකකාරිය වූ ආශා කුමාරි ගමගේ නොහොත් ආක්ෂා සුදාරි සමග 2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී පේ‍්‍රම සබඳතාවක් ආරම්භ කර ඇති බවත් පැමිණිලිකරු වන ගෝපිරාජ් යන අය ව්‍යාපාර සහකරුවකු වශයෙන් සැකකාරිය විසින් තමාට ගෝපිරාජ් හඳුන්වා දුන් බවත් ප්‍රකාශ කර ඇත.
පසුව ගෝපිරාජ් විසින් ආශිෂ් යන අයට දුරකථනයෙන් කතා කොට ආශා කුමාරි තමාව මූල්‍යමය වංචාවකට ලක් කළ බව ප්‍රකාශ කර ඇතැයිද රහස් පොලිසිය සිය වාර්තාවෙන් අධිකරණයට දන්වා ඇත.
මෙම මූල්‍ය වංචාව නවත්වන ලෙසටත් ගෝපිරාජ්ගෙන් ලබාගත් මුදල් ආපසු ලබාදෙන ලෙසටත් ගමගේ ආශා කුමාරිගෙන් තමා ඉල්ලා සිටියද ඇය එසේ නොකළ නිසා ඇය සමග තිබූ සම්බන්ධතාව නවතා දැමූ බව ආශිෂ් නමැත්තා රහස් පොලිසියට දැනුම් දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතෛක් සිදුකරන ලද විමර්ශනවලදී ගමගේ ආශා කුමාරි යන අයගේ බැංකු ගිණුම් දෙකක ඇමෙරිකානු ඩොලර් 98,000/-ක්ද ශ්‍රී ලංකා රුපියල් 2,400,000/-ක්ද වශයෙන් ගෝපිරාජ් නමැති පැමිණිලිකරු විසින් ඩුබායි රටේ සිට මුදල් එවා අති බවට අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.
මෙම මුදල් ගෝපිරාජ් විසින් තමාගේ එදිනෙදා වියදම් සඳහා එවන ලද මුදල් බැවින් තමා ඒවා මිතුරන් සමග විනෝද වීමටත් මිල අධික ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමටත් වියදම් කළ බව සැකකාරිය රහස් පොලිසියට ප්‍රකාශ කර ඇතැයි ඊයේ (29* අධිකරණයේදී කරුණු වාර්තා විය.
මෙම සිද්ධියට අදාළ නඩුවේ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට සකස් කරමින් සිටින බවත් විමර්ශන අවසන් කර වාර්තා කිරීමට දිනයක් ලබාදෙන ලෙසත් මෙහිදී රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාරියගේ ඇප කොන්දේසි ලිහිල් කිරීම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන දෙසැම්බර් 17 දක්වා කල් තැබිය.
පැමිණිලිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියට ඇප නියම වූයේ ඉකුත් ජූලි මස 13 වැනිදාය. ඒ රුපියල් 25,000ක මුදල් සහ රුපියල් කෝටි තුනක ශරීර ඇප මතය. එසේම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා අමතර ඇප කොන්දේසියක් වශයෙන් සෑම ඉරුදිනකම පෙරවරු 9.00ත් 12.00ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කරන ලෙසටද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ආක්ෂා සුදාරි නමැත්තිය විසින් අපේක්ෂිත ඇපයක් ඉල්ලා ඉකුත් ජූලි මස 13 වැනිදා අධිකරණය වෙත සඳහන් කර තිබුණේ තමන් 2014 වර්ෂයේදී ඉන්දියාවේ රූගත කිරීමකට සහභාගි වූ අවස්ථාවේදී ගෝපිරාජ් නමැත්තා හඳුනාගෙන පේ‍්‍රම සබඳතාවක් ආරම්භ කළ බවය.
එසේම ගෝපිරාජ් නමැති අය විවාහයෙන් පීඩාවට පත්ව සිටින නිසා එකී විවාහයෙන් දික්කසාද වී තමා විවාහ කර ගන්නා බවට ප්‍රකාශ කර ඇති බවත් ඒ මත සිටිමින් ඔහු සමග ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන ගිය බවත් ඇය අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.
නිමන්ති රණසිංහ