එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ නඩු විභාගයට විශේෂ අධිකරණයක්

මරණ දඬුවම ලබා දුන්න ද එය තවත් වසර දෙකක් යන තුරු ක්‍රියාත්මක කිරීමට නොහැකිවන බවටත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ නඩු විභාගය වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (03) යාපනය මහාධිකරණයේ දී මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඇතුළු තවත් විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහි දී වැඩි දුරටත් මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, “කොටි සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු විභාග කර අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පත් කිරීමට බලාපොරොත්තුවන බවටත් විනිසුරු මණ්ඩලයකින් සමන්විත අධිකරණයකින් එවැනි නඩු විභාග කළ හැකි දැයි තමන්ගේ උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුව විසින් අගවිනිසුරු වෙත දැන්වීමට කටයුතු කර ඇති අතරම ඒ සඳහා අවසරය ලැබෙනු ඇති බවට ද මම බලාපොරොත්තුවනවා.

දැනට බන්ධනාගාරවල සිටින කොටි සැකකරුවන් ප්‍රධාන කොටස් 03 කි. එක කොටසක් වරදකරුවෝ වී සිටිති. තවත් පිරිසකට නඩු මේ වනවිටත් පවරා ඇත. අනෙක් පිරිසකට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙනවා. මෙහි දී බරපතල චෝදනා නැති හා පිළිගත හැකි සාක්කි නැති පිරිස් මුදා හැරීම ගැන නීතිපතිගේ අවධානය යොමු වී තිබෙනවා.

‘එවැනි අය ඇප මත මුදාහැරීමේ ඉඩකඩ දැන් සොයා බැලීමට පියවර අරන්. නඩු පවරා ඇති අයට එරෙහිව කඩිනමින් විභාග පැවැත්වීමට රජය ක්‍රියා කරගෙන යනවා. අලුත් උසාවියකුත් ආරම්භ කරනවා. පමාවකින් තොරව එම නඩු විභාග කර අවසන් කරන්න තමයි රජයේ උත්සාහය.

මරණ දඬුවම ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මකවන්නේ නැහැ. ඒකට හේතුව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය 2008 දී මරණ දඬුවම අත්හිටුවීමට ගත් තීරණය අනුව සාමාජික රටක් වන ශ්‍රී ලංකාවත් එය ක්‍රිත්මක කරන්නේ නැහැ. වසර දෙකෙන් දෙකට එම දඬුවම සාමාජික රටවල් විසින් දික් කරමින් අත්හිටු වෙනවා.

මරණ දඬුවම පනවන රටවල් අතරට ශ්‍රී ලංකාවත් ගැනෙනවා. ඒත් එක්සත් ජාතීන්ගේ තීරණය අනුව එය වසර දෙකෙන් දෙකට අත්හිටුවනවා. එක්සත් ජාතීන්ගේ එම යෝජනාවට ශ්‍රී ලංකාව වසර කිහිපයක් අත්සන් තබලත් මෙවර ඉදිරිපත්වන යෝජනාවට අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවත් දෙවසරකට අත්හිටවෙනවා” යනුවෙන් සඳහන් කළේ ය.

අනතුරුව අධිකරණ අමාත්‍යවරයා යාපනය නල්ලූර් කෝවිල ද වැඳපුදා ගත් අතර මෙම අවස්ථාවට නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන් මහත්මිය ද සහභාගී වී සිටියා ය.

6a371b4b8e48ded0f4bc28b360e3c6d5_L 123

වන්නි රොමේෂ් මධූෂංඛ