හැකර් තරගාවලියේ රන් සම්මානය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට

ශී‍්‍ර ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය (SLCERT) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Hacking Challenge 2015’ තරගාවලියේ රන් සහ ලෝකඩ කුසලාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සයිබර් ආරක්‍ෂක මෙහෙයුමි අංශය විසින් ඊයේ (03) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති ත්‍යාග ප‍්‍රධානෝත්සවයේදී ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමනායක මහතා අතින් ලබා ගන්නා ලදි.

මෙම තරගාවලියේදී තොරතුරු තාක්‍ෂණ වෘත්තීයවේදීන් සතු තොරතුරු ආරක්‍ෂක ශිල්පීය ක‍්‍රම මගින් පරිඝණක පද්ධති වල පවතින අවධානම් සහගත ස්ථාන හා කි‍්‍රයාකාරකම් හදුනාගෙන එමගින් පද්ධති අකර්මන්‍ය කිරීමත් ඊට එරෙහිව ප‍්‍රතිකර්ම ලබා දීමේ හැකියාවන් පරීක්‍ෂා කරන ලදී.

සමස්ත දිවයින ආවරණය වන පරිදි කණ්ඩායම් 16 ක් සහභාගීත්වයෙන් 2015 ඔක්තෝම්බර් මස 15 වන දින මෙම තරගාවලිය පවත්වන ලදී. මෙහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිරිපත් වූ කණ්ඩායම් දෙක ‘Black Flyers’ සහ ‘Copper Head ’ පිළිවෙලින් රන් සහ ලෝකඩ කුසලාන දිනා ගන්නා ලදි.

මෙම උත්සවය සදහා සම්භාවනීය ආරාධිත අමුත්තකු ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී වූ අතර විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිෂ් මාර්ෂල් රොහාන් පතිරගේ මහතා සහ ප‍්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරී ගෲප් කැප්ටන් අරෝෂ විතාන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ