උපේක්ෂාගේ රොකී

රොකී ගෝල්ඩන් රිච්ට්වර් වර්ගයට අයිතියි. දැන් එයාට වයස අවුරුදු දෙකක් විතර ඇති. මම එයාව මිලට ගත්ත තැනට යද්දී රොකී මේසයක් යටට වෙලා බොහොම අහිංසක විදියට හිටියා. එතකොට එයාට වයස මාස 3ක් විතර ඇති. රොකීගේ අම්මට පැටව් 6 දෙනෙක් ලැබිලා. හයවැනියාට තමයි රොකී ඉපදිලා තියෙන්නේ. ඒ විදියට අන්තිමට ඉපදෙන පැටියා ටිකක් විතර දුර්වල බවත් එයා මැරෙන්න වුණත් ඉඩ තියෙන බව එයාගෙ අයිතිකාරයෝ කිව්වෙ. ඒ වෙලාවේ මට මෙයා ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණ හින්දයි එයාවම ගත්තේ. ගෙදරට ගෙනාවට පස්සේ නිසි ප්‍රතිකාර අනුව ආදරයෙන් හැදුවා. දැන් හරිම නිරෝගීව ජීවත් වෙනවා. හැබැයි එදා තිබුණු අහිංසකකම තවමත් තියෙනවා. සුසීව නම් මට හමුවුණේ පාරේ ඉඳලා. එතකොට එයාටත් මාස තුනක් විතර ඇති. එයා අපේ වාහනේට යටවෙන්න ගියා. මට දුක හිතිලා ගෙදර ගෙනාවා. ඒ වෙද්දී එයාට තුවාල දාලා තිබුණේ. වෛද්‍ය ප්‍රතිකාර කරලා යථා තත්ත්වයට අරගෙන නාවලා කෑම බිම දීලා එයාව හැදුවේ. සුසීට දැන් මාස 9ක් විතර ඇති.”

සුසීව ගෙදරට ගෙනාපු අලුත උපේක්ෂා එයා වෙනුවෙන් ඇප කැප වෙද්දී අවධානය අඩුවීම හින්දා රොකීට පුංචි ඊර්ෂ්‍යාවක් ඇතිවෙලා තියෙනවා. ඒත් එයා කිසිම දවසක සුසීට හිරිහැර කරලා නැහැ. දැන්නම් දෙන්නා හොඳ යාළුවෝලු. හැබැයි ඉතින් රොකී නිහඬ තැන්පත් කෙනෙක් වුණාට සුසී හරිම දඟකාරියක්ලු. ඒ හින්දා සුසීගේ දඟකාරකම් සමහර වෙලාවට රොකීට හිරිහැරයක්ලු.

“මේ දෙන්නට අඩි 6යි 6යේ ලොකු කූඩුවක් හදල තියෙන්නේ. ඒත් මේ අයව හදන්නේ කූඩු කරලා නෙමෙයි. ගෙදරම ඒ දෙන්නගේ වගෙ තමයි. හිතුන තැනක වැතිරිලා නිදා ගන්නවා.”

සුසී දඟකාරියක් බව මුලින් සඳහන් කළානේ. ඇගේ දඟකම් හින්දා උපේක්ෂා අපහසුතාවයට පත්වූ අවස්ථා බොහොමයක් තියෙනවාලු. සපත්තු, ප්ලාස්ටික් බඩු විතරක් නමෛයි රූපවාහිනියේ දුරස්ථ පාලකය හපන හින්දා සුසීට උපේක්ෂාගේ දඬුවම් ලබන්න පවා සිදුවුණ අවස්ථා තියෙනවා. ඒත් සුසීගේ දඟකම් නම් අඩු වෙලාම නැහැ. එක දවසක් සුසීගේ දඟකම් ඉවසන්න බැරුව උපේක්ෂා සුසීව නාන කාමරයට දාලා දොර වහලා පැය කිහිපයක් තිබ්බාලු. ඔය වෙලාවේ රොකී බොහොම දුකෙන් නාන කාමරයේ දොර ළඟ බිම වාඩි වෙලා හිටියාලු. සුසීව එළියට ගන්න තුරුම රොකී ඒ විදියට ඉඳලා.

“ඒ සිද්ධිය සුසීට තදින්ම බලපෑවා. සතුන්ට වුණත් හිතට තදින් දැනෙන සිදුවීම් ඒ අයගෙ ජීවිතවලට බලපානවා. රොකීට හරිම හොඳ ගතිගුණ ගොඩක් තියෙනවා. රොකී එක්ක ඉඳලා සුසීත් පුදුමාකාර විදියට වෙනස් වෙනවා. දැන් එයාගෙ දඟ ගති ගොඩක් අඩුයි. දවසින් දවස හොඳ වේගෙන එනවා.”

රොකීටයි සුසීටයි වෙනමම ආහාර වෙන්වෙලා තියෙනවාලු. ඒ වුණත් කැරට් බිට් වගේ එළවළු අමුවෙන් කන්න රොකී ටිකක් කැමතියිලු. සුසී නම් ඕනෑම කෑමකට ඔරොත්තු දෙන කෙනෙක්. මේ දෙන්නගෙ කටයුතුවලට උපේක්ෂාගෙ අම්මාගෙ සහය ලැබුණත් දෙන්නව නාවන රාජකාරිය නම් අනිවාර්යයෙන්ම කරන්නේ උපේක්ෂාලු. ඒ වගේම තමයි සුසී එන්න කලින් රොකී චූටි කාලෙදී තමන් යන හැමතැනම එයාව එකතු කරගෙන යන එකත් උපේක්ෂාගේ සිරිතක්ලු. එක දවසක් ඒ විදියට රූගත කිරීමකට රොකීව එකතු කරගෙන ගියපු මොහොතක වූ අපූරු සිදුවීමක් ගැනත් උපේක්ෂා සඳහන් කළා.

“එදා එළිමහන් රූගත කිරීමක් තිබුණේ. මම එයාව ගේට්ටුව ළඟ ගැට ගහලා ෂූටිංවලට ගියා. දවසම ෂූටිං. ඔය අතරේ නිෂ්පාදන අංශයේ ළමයෙක් ඇවිත් කිව්වා “අක්කේ රොකීට මොනාද වෙලා” කියලා. මම ගිහින් බලද්දී රොකී අත් දෙකයි කකුල් දෙකයි උඩට හරවගෙන බිම වැටිලා ඉන්නවා. මම හොඳටම බය වුණා. පස්සේ තමයි සිදු වූ දේ තේරුණේ. රොකී චුට්ටක්වත් සැර නැති හරිම ලෙංගතු සුරතලෙක් හින්දා හැමෝම එයාට ආදරෙයිනේ. ඉතින් එදා ටෙලි නාට්‍යය කණ්ඩායමේ හැමෝම එයාට එක එක ජාතියේ කෑම දීලා. කෑම කාලා වැඩි වෙලා තමයි රොකී අර විදියට ඉඳල තියෙන්නේ.”

 

u2-1 u3 u4

උපේක්ෂා හිනාවෙලා ඒ විදියට පැවසුවා.

(ආරියවංශ කුලතිලක)