විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ළමයෙකුට?

කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ඇවන්ගාඩ්  අවි ගබඩාව සම්බන්ධයෙන් කිසිදු වංචාවක් හෝ ප්‍රශ්නයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කර සිටියා. තව දුරටත් ඔහු කියා සිටියේ මෙම ව්‍යාපෘතිය හරහා රජය විශාල ආදායමක්ද ලැබූ බවයි.

මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස ඇතමුන් යෝජනා කළ නමුත් තමන් ඊට ඉඩ නොදුන් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ, අන්තර්ජාතික සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ නීති රිතීවලට අනුව ගාලූ වරාය තුළ අවි ගබඩාවක් පවත්වාගෙන යාම නීතිවිරෝධී බවයි .ඇවන්ගාඩ් සහ පසුගිය සමයේ සිදුවු වංචා දූෂණ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙම සිද්ධිය පිළිබඳව අදහස් පළ කළා.

කෙසේ වෙතත්, ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු එහි නායක විමල් වීරවංශ කියා සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විහිළුකාරයෙක් බවට පත්ව ඇති බවයි. ඔහු එහිදී කියා සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ළමයෙකුට භාර දිය යුතු බවයි.