සනීපාරක්ෂක තුවා පරිහරණයේදී ඔබ දෑනගත යුතුම කරුණු

සමනළියක් සේ නිදහසේ පියාසලා යන ඇයටත්, දහසකුත් වැඩ රාජකාරි මැද කාර්යබහුල දිවියක් ගෙවන ඇයටත් මානසික හා කායික සුවතාවය අවශ්‍යම දෙයක්. ඒ අස්වැසිල්ල එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නත්, මසකට වරක් එළැඹෙන ඒ දිනය දැඩි විඩාබර බවක් ගෙන දෙන බව නම් කාන්තා කවුරුත් දන්නා දෙයක්. ආර්තව දිනවලදී ඇතිවන විවිධ අපහසුතා මඟහරවා ගැනීමට විවිධ ප්‍රතිකාර හා අත් බෙහෙත් ලබාගන්නත්, තමන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව කෙරෙහි දක්වන සැලකිල්ල ප්‍රමාණවත්දැයි දෙවරක් සිතා බැලිය යුතුයි.

කාන්තාවන් නිරතුරුවම පිරිසුදුව හා පිළිවෙළට සිටීමට පුරුදු විය යුතුවා සේ ම, ආර්තවය පවතින දිනවලදී වෙනදාටත් වැඩියෙන් පවිත්‍රව සිටීම අත්‍යවශ්‍ය දෙයක්. මේ සඳහා සනීපාරක්ෂක තුවා මඟින් සිදුවන්නේ අපමණ මෙහෙයක්.

සනීපාරක්ෂක තුවායක් මිලදී ගැනීමේදී එහි සුව පහසුව, දිග, පළල, යට ඇඳුම්වලට සවිවීම, ඇවිදීමේ පහසුව පිළිබඳත් සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම භාවිත කළ තුවා ක්‍රමවත්ව බැහැර කිරීමත් වැදගත්. ඇතැමුත් තමන් භාවිත කළ තුවා වැසිකිළියට දමන අවස්ථා තිබෙනවා. මෙය එතරම් සුදුසු දෙයක් නොවන්නේ වැසිකිළි නළ පද්ධතිය එයින් අවහිර වීමට හැකියාව තිබෙන නිසයි. එහෙයින් භාවිත කර අවසන් වූ සනීපාරක්ෂක තුවාය තැන තැන නොදමා, හොඳින් ආවරණය කර , නිසි අයුරින් බැහැර කරන්න. නැතිනම් පරිසරය අපිරිසුදු කිරීමට ඔබත් හවුල්කාරියක් වනවා පමණක් නෙමෙයි, ඔබේ පෞද්ගලිකත්වයට ද එයින් බාධා පැමිණෙන නිසයි. ශරීරය අභ්‍යන්තරයට ඇතුළු කරන සනීපාරක්ෂක තුවා ද තිබෙනවා. එයින් රුධිරය මතුපිටට ඒම වළක්වනවා. පිහිනුම් තටාක ආදියෙහි නෑමෙහි යෙදෙන විට එවැනි තුවා භාවිතය වඩාත් යෝග්‍යයයි. ඒත් නිසි වේලාවේදී එය ඉවත් කිරීමට සැළකිලිමත් විය යුතුයි. ඔබ භාවිත කරන තුවා නිරීක්ෂණය කිරීමෙන් කුමන මොහොතේ පාවිච්චි කළ තුවා ඉවත් කළ යුතුදැයි සිතාගන්න පුළුවන්. රුධිරය නිරන්තරයෙන් විෂබීජවලට සාරවත් තැනක් නිසා, තම සිරුර හොඳින් පිරිසුදු කර ගැනීම වගේම සනීපාරක්ෂක තුවා භාවිතය ද ඉතා වැදගත්.

කාන්තාවන්ගෙන් කාන්තාවට අනුව අවශ්‍ය වන තුවා ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවකට මුල් අර්තව කාලයේදී පිටවන්නේ මේස හැඳි දෙකක පමණ රුධිර ප්‍රමාණයක්. (මිලිලීටර් 30- 40 පමණ) දිනකට පිටවන ප්‍රමාණය දළ වශයෙන් මිලිලීටර් 15 – 20 වනවා. ඒ අනුව දිනකට තමන් මාරු කළ යුතු තුවා ප්‍රමාණය තමන්ටම තීරණය කරගත හැකියි. ඇතැමුන් දීර්ඝ වේලාවක් එකම තුවාය ඇඳ සිටින අවස්ථා තිබුණත් එය ඉතාම අහිතකර දෙයක්. ඉතාම සංවේදී හා විවෘත ස්ථානයක් වන එම ප්‍රදේශය හරහා විෂබීජ හා බැක්ටීරියා ඉක්මනින් ශරීරගත වීමේ හැකියාව තිබෙනවා.

අදටත් පැරැණි කාලයේ මෙන් තුවා වෙනුවට රෙදි භාවිත කරන කාන්තාවන් සිටිනවා. එය ඉතා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් වන්නේ හොඳින් සෝදා, වියළා පිරිසිදු කරගත් රෙදි පමණක්භාවිත කිරීම මඟින් පමණයි.

ආර්තවය හරහා ඔබට තිබෙන රෝග තත්ත්ව දැනගැනීමට අවස්ථාව තිබෙනවා. රුධිරය පිටවන වාර ගණන, එය කැටි ලෙස පිටවනවාද? අධික ලෙස වැඩි වාර ගණනක් සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදුවනවාද? යන්න නිරීක්ෂණය කිරීම මඟින් ෆයිබ්‍රොයිඩ්ස් (ගර්භාෂ ගෙඩි), එන්ඩොමෙට්‍රිසෝසිස් වැනි රෝග පිළිබඳ හඳුනාගැනීමට පුළුවන්.

girl

සමදරා ජයසිංහ

ස්තූතිය

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී,පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනවියට