එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම ගැන තීරණයක් අද ගන්නවා

බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ දිනයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරන බවට විවිධ ප්‍රකාශ පළ වුවද කිසිදු සිරකරුවෙකු මේ දක්වාත් නිදහස් කර නොමැති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මෙම සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම සැකකරුවන් ඇප මත නිදහස් කරන්නේ ද එසේත් නොමැති නම් පුනරුත්ථාපනය කර නිදහස් කරන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 200 දෙනෙකු පමණ බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන්ගෙන් පිරිසක් අවස්ථා දෙකකදී නිදහස් කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

මේ අතර දිවයිනපුරා බන්ධනාගාරවල රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊයේ දිනයේ දී අනුරාධපුර බන්ධනාගාරයේ දී එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 29 දෙනෙකු වර්ජනයක් ආරම්භ කර තිබු අතර අද වන විට 50 දෙනෙකු පමණ වර්ජනයේ නිරතව සිටින බව වාර්තා වෙයි.

මීට අමතරව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ද මේ වන විට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.

වර්ජනයේ නිරත එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා මැගසින් බන්ධනාගාරය වෙත ගොස් ඇති බව ද සඳහන්ය.

dr