රනිල්ගේ විදෙස් ආයෝජකයා, අනුරගේ උදහසට ලක්වීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තම රජයේ මධ්‍යකාලීන ආර්ථික සැලසුම් විග්‍රහයට අනුව, ඔහු විසින් බටහිර මහා ධනකුවේරයකු වන ජෝජ් සෝරෝස් ගේ ආයෝජන මෙරටට රැගෙන ඒමට කටයුතු කිරීම, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ දැඩි දෝෂාරෝපණයට ලක්විය. ජවිපෙ නායකයා මේ පිළිබඳව කියා සිටියේ පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවකදීය.

ඔහු මෙහිදී පැවසුවේ, අගමැතිතුමන් විසින් ශ්‍රී ලංකාවට ජෝජ් සෝරෝස් නම් ආයෝජකයෙකු ගෙන්වීමට සූදානමින් සිටින බවත්, ජෝජ් සෝරෝස් යනු මූල්‍ය වංචාවකට හසුව ප්‍රංශ රජය විසින් දඩ ගැසූ පුද්ගලයෙකු බවත්ය.

“ජෝජ් සෝරෝස් කියන්නේ ප්‍රංශ රජයේ මූල්‍ය වංචාවකට හසුවෙලා ඩොලර් නවලක්ෂ ගාණක දඩයක් කාපු මිනිහෙක්. 1992 එංගලන්තයේ විශාල මූල්‍ය අර්බුදයක් ඇති කරන්න ඔහු හේතුවුණා. එයා පවුම් බිලියන 10 ක් එකපාර දාලා මාරු කර ගත්තා. එයා ඒකෙන් ඩොලර් මිලියනයක ලාභයක් ගත්තා. එංගලන්තය එයාට කියන්නේ බැංකු කැඩූ පුද්ගලයා කියලා. එයා බැංකු බංකොලොත් කළා“, යනුවෙන් ජෝර්ජ් සෝරෝස් පිළිබඳ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක දැඩි විවේචනයක් එල්ල කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායකයා, “ඒ වගේම 1990 අග භාගයේ දී තායිලන්තයේ, මැලේසියාවේ, දකුණු කොරියාවේ විශාල ආර්ථික කඩා වැටීමක් සිදුවුණා. ඒ වෙලාවේ මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් කියනවා, මේ ආර්ථිකය කඩා වැටීම පිටිපස්සේ ඉන්නේ ජෝජ් සෝරෝස් කියලා. මෑතකදී හංගේරියාවේ අගමැතිවරයා ප්‍රකාශ කරලා තිබ්බා, යුරෝපයේ සිදුවන සංක්‍රමණිකයන් පිටුපස්සේ ඉන්නේ සෝරෝස් කියලා“, යැයි පැවසීය.

“මහින්ද මහත්තයා අපේ රට ගොඩනගන්න ගේන්න හිටපු ආයෝජකයා ජේම්ස් පැකර්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා, එයාගේ මධ්‍යකාලීන ආර්ථික වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට කියන ගමන් කියනවා එයා ජෝජ් සෝරෝස් ගේනවා කියලා. ඉස්සර කැසිනෝ මුදලාලි කෙනෙක්. දැන් මූල්‍ය ජාවාරම්කරුවෙක්“, යනුවෙන් අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

aura