සඟ සෙන්පති නාහිමියෝ දැයෙන් සමුගනියි.

අභියෝග හමුවේ අචල්‍ය මහා පර්වත රාජයකු ලෙස හඳුන්වා දිය හැකි, සඟ පිරිස මැද අභීත සංඝ සේනාධිපතියකු ලෙසත් කථිකයන් අතර මහාවාදීභසිංහයෙකු ලෙසත්,  ලක් සඟ සසුන බබළවමින් දශක හයකට අධික කාලයක් පොදු ජන යහපත උදෙසා ඉටු කළා වූ ආගමික, දේශපාලනික හා සාමාජික මහානර්ඝ සේවාව නිමා කොට කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමියෝ අද සැඳෑ යාමයේ මළ හිරු බැස යන මොහොතේ දැයෙන් සමුගනු ඇත.

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය හෙබ වූ සම්භාවනීය සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස ජනාදරයට පාත්‍ර වූ අප මහා නාහිමියනගේ දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිත රාජ්‍ය අනුග්‍රහයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී සිදු කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ උපදෙස් හා මග පෙන්වීම් මත ත්‍රෛනිකායික මහා සංඝරත්නය, හින්දු, ඉස්ලාම්, කතෝලික යන සර්ව ආගමික නායකයින්ගේ, විදෙස් නියෝජිතයින් රැසකගේ සම්භාවනීය සහභාගීත්වය ඇතිව පැවැත්වෙන මේ ආදාහන පූජෝත්සවයට අතිවිශාල ජනතාවක් ඒකරාශී වන බව දක්නට ඇත.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ සිට පාර්ලිමේන්තු ක්‍රීඩා පිටිය දක්වා ජනතා දුක් සුසුම් මැද නාහිමිගේ දේහය රැගෙන එනු ලැබේ.

ශ්‍රී ලාංකික දේශය අඳුරින්, දිළිඳුබවේ මඩ ගොහොරුවෙන් නිදහස් කොට සැමට සමානව සලකන සාධාරණත්වය සාමය සංහිඳියාව හා සහජීවනය රජයන සෞභාග්‍යමත් දේශයක් කරලීමේ උදාර වූ පවිත්‍ර අරමුණ ඉටු කර ගැනීම උදෙසා පෙළ ගැසුණු ඊට නායකත්වය සැපැයූ අභීත අප මහා නායක හිමියෝ රට දැය සමය නැගුමට ඉටු කළ මෙහෙය සුළුපටු නොවන්නකි.

jathi-10 jathi-09 jathi-08 jathi-07 jathi-06 jathi-01 jathi-03 jathi-05

තම උපන් බිමේ හා ජනතාවගේ පොදු යහපත උදෙසා අනේකවිධ දුක්ඛ දෝමනස්ස මැද නොසැළී කටයුතු කළ උන්වහන්සේට දැයෙන් සමුගන්නා මොහොතේ ජාති ආගම් පක්ෂ භේධ පසෙකලා  ජාතියක් ලෙස අප උතුම් වූ අමාමහ නිවන් සැපත අත්වේවායි ප්‍රාර්ථනා කරමු.