හෙංචයියන්ගේ සතුට වෙනුවෙන් දෙකම එක වගේ වෙයිද..?

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා  රජය අතර  ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට රජය තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න ප්‍රකාශ කළැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ පස්වරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ගේගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මේ තීරණය ගෙන ඇතැයි ප්‍රකාශ වන අතර ඒ සාකච්ඡාවට පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නාවික හමුදාපති, රක්නා ලංකා නියෝජිතයන් ඇතුළු නිලධාරීහු ද, රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ සහ මීට කිසිදු සම්බන්ධයක් නැති පාඨලී චම්පික රණවක ද සහභාගී වී ඇතැයි මාධ්‍ය කියති.

සමාජ වෙබ් අඩවි සහ ෆේස් බුක් පිටු හරහා මේ සම්බන්ධයෙන් පළ කරමින් සිටි කාරණා මේ අනුව සත්‍ය වෙමින් තිබේ. ඊයේ බොහෝ වෙබ් අඩවි තුලින් අනාවරණය කල පරිදි අධික ලාභ උපයන ව්‍යාපාරයක් වන ජාත්‍යන්තර මුහුදු ගමනේ යෙදෙන නැව් වලට ආරක්ෂාව දීමේ ව්‍යාපාරය යහපාලන රජයේ ප්‍රබල හිතවතෙකු අතට ගැනීමේ කූඨ සැලසුමක් පවතින බව රටටම අනාවරණය විය. එම හිතවතුන් අතර කිලී මහාරාජාගේ මැරිටයිම් සිකියුරිටි නම් සමාගමක් තිබෙන බවද, ධීවර නැව් 7 ක් හිමි යහපාලන රජයේ ඇමැතිවරයෙක් සිටින බවද, අර්ජුන රණතුංග ඇමැතිවරයාද සමාගමක් හදාගෙන බිස්නස් එක ලැබෙන තුරු බලා සිටින බවද දැන් රටට රහසක් නොවේ.

කෙසේ නමුත් මීට දින 20 කට පෙර යහපාලන රජයද ඇවන්ට් ගාඩ් සමාගම නීත්‍යාණුකූල ව්‍යාපාරයක යෙදෙන බව පවසා ඒ සමග ගිවිසුමක් අත්සන් කර ඇති බව හෙළි කිරීම සැලකීමට ගත යුතුය. එසේ තිබියදී අතිගරු ජනපතිතුමන් විසින් ඇවන් ගාඩ් සිද්ධිය පිලිබඳ පරීක්ෂණ තමා යටතට ගත් බව ප්‍රකාශ කොට තිබුණි. එහි  නෛතික පසුබිම ගැන හෙළි නොකරමින් රාජිත සේනාරත්න ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ජනපතිතුමන්ගේ තීරණය යනුවෙන් කල ප්‍රකාශය හේතුවෙන් යහපාලන රජයේ ගමන්මග ගැන සැකයක් මතු වනු ඇත. දින 20 කට පෙර අත්සන් කළ ගිවිසුමක් අහෝසි කිරීමට නම් ඊට හේතු කාරණා විය යුතු අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කළ යුතු වන අතර _ රාජිත අමාත්‍යවරයා ප්‍රකාශ කරන අන්දමට ජනාධිපතිවරයා හිතුමතේ රටේ ව්‍යාපාර කටයුතු කෙරෙහි තීන්දු ගන්නේ නම් පෙර සිටි රාජපක්ෂ රෙජීමය ගෙන ගිය ගමන් මගේ මෙම රජයද දැන් සිටම ගමන අරඹා ඇති බව ඉන් ඉඟි කරනු ඇත.

දයා ගමගේ මහතා සතුව තිබූ දිනක පිරිවැටුම කෝටි 35 ක් වූ සෙවනගල සීනි සමාගම රාජපක්ෂ රෙජීමය විසින් පවරා ගෙන තම හෙංචයියන්ට දුන්නේ ද, දේශමාන්‍ය ලලිත් කොතලාවල සිරගත කරමින් ඔහු සතුව තිබූ කෝටි ප්‍රකෝටි ගණනක ව්‍යාපාර රෙජීමයේ ගෝලබාලයන් කොල්ල කෑවේ ද මේ ආකාරයටම ය. රාජපක්ෂ රෙජීමය හකුළුවා දමමින් රටේ ජනතාව යහපාලන ආණ්ඩුව ආවේ නීතිය අනුව කටයුතු කිරීමට ය.

ඇවන්ට් ගාඩ් සමාගම නීති විරෝධී නම්, එම චෝදනා සම්බන්ධයෙන් නිවැරදිව පරීක්ෂණ පවත්වා නඩු දමා ගත යුතු ක්‍රියාමාර්ග තීන්දු කළ යුත්තේ අධිකරණය විසිනි. එසේ නොමැතිව චම්පික හෝ රාජිත වැනි ව්‍යාපාරික මාධ්‍යකරුවන්ගේ  මුදලට යටවූ බඩගෝස්තරවාදී හෙන්චයියන්ගේ අදෝවැඩියාව නිසා නොවේ.  මෙය සම්පූර්ණයෙන්ම අනාගත භයානක තත්ත්වයක පෙරනිමිත්තකි. ලබ්බට තැබූ අත පුහුලටත් තියනවා තියනවාම ය.

රාජිත පවසන ආකාරයට ජාත්‍යන්තර නෞකා වලට ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාවට කළ හැකිදැයි නාවුක හමුදාවේ ඉහල නිලධාරියෙකුගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ මේ ව්‍යාපාරය නාවුක හමුදාව කරගෙන යෑමට මුල් කාලයේදී උත්සාහ කළද එය අසාර්ථක වූ බවයි. නාවුක හමුදාවේ අසාර්ථක වීම අනුව මෙය පුද්ගලික සමාගමකට පැවරීමට තීරණය කල බව කී නිලධාරියා කියා සිටියේ ඔහු දන්නා තරමින් මේ වන විට ජාත්‍යන්තර නෞකා 75 කට අධික සංඛ්‍යාවකට මේ වන විටත් ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂකයන් යොදවා සිටින බවත් ඒ සඳහා 3000 කට ආසන්න ඔවුන්ගේ පුද්ගලික භටයන් පිරිසක් යොදවා ඇති බවත් ඒ සියල්ල එකවර ශ්‍රී ලංකා නාවුක හමුදාවට ගැනීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන්නක් බවත්ය. පුද්ගලික සමාගමක් තවත් පුද්ගලික ජාත්‍යන්තර නැව් සමාගම් සමග අත්සන් කර ඇති ආරක්ෂාව සැපයීම සම්බන්ධ ගිවිසුම් එක්වරම නාවික හමුදාව අතට ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියේ ය. නාවික හමුදාවට ආරක්ෂාව සැපයිය හැක්කේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී පමණක් බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින ව්‍යාපාරයක් නාවික හමුදාවට පවරා ගත නොහැකි අතර කළ හැකි වන්නේ ජාත්‍යන්තර නැව් සමාගම් අතර තරඟ කිරීම පමණක් බවත් හේ පැවසීය.

මෙය ශ්‍රී ලංකාව වෙත පැමිණෙන හා ඉන් පිටත් වන නැවු වලට මෙන්ම ලංකාව අවට මුහුදු ගමන් මාර්ගය පිළිබඳව එතරම් යහපත් තීරණයක් නොවනු ඇතැයි ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

නාවුක හමුදා ප්‍රකාශකයාගේ කතාව අනුව පැහැදිලිවම පෙනී යන්නේ නාවුක හමුදාවට පවරා ගන්නවා යැයි කියා ඊයේ යහපාලන රජයේ අමාත්‍ය රාජිත හා චම්පික යන මහත්වරුන් විසින් ජනතාව ගොනාට අන්දා තම හෙංචයියන්ට අනුන්ගේ ලාබ ලබන ව්‍යාපාරයක් පවරා දීමට යන බවයි. රාජපක්ෂලා කෙළේද මෙයම ය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රකාශකයෙකු සම්බන්ධ කර ගැනීමට කරන ලද උත්සාහය අසාර්ථක විය.