උපේක්ෂා විවාහය අබියස..

උපේක්ෂා… අපි කතා කරමුද?… පොඩි වෙලාවක් දෙන්නකෝ…

us1

හා කතා කරමු…

කොයි වෙලාවටද?

දැන්… දැන් පුළුවන්.

මොකක්ද ඔය සද්දේ?

අපි ආමි එකත් එක්ක 13 වැනිදා තියෙන ෂෝ එකට පුරුදු වෙන ගමන් ඉන්නේ.

සින්ඩරෙල්ලා චිත්‍රපටයත් ඔන්න එනවා මෙන්න එනවා කිව්වට තවම එන පාටක් නැහැ වගේ?

දෙසැම්බර් මාසේ මැද හරියේදි සින්ඩරෙල්ලා ප්‍රදර්ශනය වීමට නියමිතයි. චිත්‍රපටයේ ප්‍රමෝෂන් වැඩවලටත් මේ දවස්වල සම්බන්ධවෙලා ඉන්නවා.

දේශපාලනයට සම්පූර්ණයෙන්ම සමු දීලද ඉන්නේ?

ගොඩක් දුරට අයින්වෙලා ඉන්නේ. මැතිවරණය පරාජය වුණාට පස්සේ කිසිම දේශපාලන කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ.

තව විශේෂ වැඩකටත් සූදානමක් තියෙනවා කියලා අපිට ආරංචියි.

ඔව්නේ… විවාහයට සූදානමක් තියෙනවා. ජනවාරි 24 තමයි විවාහ උත්සවය ගන්න අදහස් කරගෙන ඉන්නේ.

ඊට වඩා විස්තර කියන්නේ නැද්ද?

නම ඇර ඕනම දෙයක් කියන්නම්. ඔහු වෘත්තීන් දෙකටම සම්බන්ධ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්.

උපේක්ෂාව ඔහුට මුණගැහුණේ කොහොමද?

මගේ දේශපාලන කටයුතුවලට කිහිප වතාවක්ම අනුග්‍රහය දුන්නා. 2011 ඉඳන්ම ඔහුව මම අඳුනනවා. හැබැයි මේ අවුරුද්දෙදි තමයි අපි එහෙම විශේෂ සම්බන්ධතාවක් පටන් ගත්තේ. වැඩි කාලයක් යන්න ඉඩනොදී අපි විවාහයේ දිනත් යොදාගත්තා.

දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණාද?

තවම ඒ ගැන හරියටම කියන්න බැහැ. දැනට නම් දේශපාලන කිසිම දෙයකට යන්න බැහැ.

ළඟදි මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට කැඳෙව්වා නේද?

යම් වැරැද්දක් සිදුවෙලා නම් ඒ පිළිබඳ පරීක්ෂණ කරන එකට මම එකඟයි. ඒ කැඳවීම නිසා මම ඒ තරම් අපහසුතාවකට පත්වුණෙත් නෑ. අපි ජනාධිපතිවරණය කාලේ සහභාගි වුණ සන්දර්ශනයක් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කිරීම් සිදුකළේ. එතැනින් එහාට ගැටලුවක් වුණේ නෑ.

දේශපාලනයට ගිහිල්ලා කාලය නාස්ති වුණා කියල හිතෙන්නේ නැද්ද?

එහෙම හිතෙන වෙලාවල් අනන්තයි, අප්‍රමාණයි. මම කලාවේ ලොකු කාලයක් නියැළිලා හිටියෙත් නෑ. මගේ මුල්ම දීර්ඝ නාට්‍යය තමයි පබා. ඉතින් ඒ දේවල් ගැන හිතද්දි ලෝබයි. හැමෝගෙන්ම ආදරය ලැබුණා. කාලෙක දේශපාලනය නිසා එක පිරිසකට කොටුවෙන්න සිදුවුණා. අනිත් එක දේශපාලනය කරද්දි අපිට හැමෝම කිට්ටුවෙන්නේ එයාලගේ වාසියට. වෙන දේකට නෙවෙයි.

දේශපාලනය කරලා මොනවත්ම ලැබුණේ නැද්ද?

වාසි හොයාගෙන, අපිව හොයාගෙන ආපු පිරිසක් ඇරෙන්න මිනිස්සු නම් හම්බ කරලාම නෑ. අනිත් එක මම මුලින්ම දේශපාලනයට ආවේ මගේ කැමැත්ත මත නෙවෙයි. යම් යම් පෞද්ගලික ජීවිතයේ බලපෑම් මත.

මන්ත්‍රිවරියක් විදියට උපේක්ෂා මොනවද ජනතාවට කළේ?

මම පුළුවන්දා ඉඳලා අවසන් දවස වෙනකල් මිනිස්සුන්ට උදවු කළා. හැමදේම කළා කියනවා නෙවෙයි. මට පුළුවන් විදියට උදවු කළා. ඉල්ලීම් සීයක් ආවොත් එතැනින් දහයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණා. ඒ ගැන මතක් කරලා සතුටු වෙනවා.

දේශපාලනයෙන් මොනවත්ම ලැබුණේ නෑ කියලද කියන්නේ?

අනේ මම හම්බ කරපු සල්ලියකුත් නෑ. තිබුණ දේත් නැති කරගත්තා. හම්බ කරගත්ත මනුෂ්‍යයකුත් නෑ. හිටපු මිනිස්සුත් නැති කරගත්තා. හැබැයි ඉතින් මම සොබාදහම විශ්වාස කරනවා. මගේ ආත්ම විශ්වාසය එදාට වඩා ශක්තිමත්. ඒ නිසා මම කොහොමටවත් වැටිලා නැහැ. හැබැයි ලැබිච්ච දෙයක් නැහැ කියන හැඟීම නම් තියෙනවා. ඒ කලකිරීම එහෙමම තියෙද්දි ලැබුණ ඡන්ද 26,000 ගැනත් මම සතුටු වෙනවා.

සින්ඩරෙල්ලා චිත්‍රපටයට පස්සෙ අකලංකගේ මූණවත් බලන්නෙ නෑ කියන්නේ ඇත්තද?

මම නම් දන්නේ නෑ. ඊයෙ තමයි මම ඔය ගැන දැනගත්තේ. ඔය ගැන අහනවා නම් හොඳම කෙනා තමයි අකලංක. එයා දෙන උත්තරෙත් එක්ක මටත් මොනවාහරි කියන්න පුළුවන්.

මොනවාහරි ප්‍රශ්නයක් වුණා නම් උපේක්ෂා දන්නවා ඇතිනේ.

අපි හරිම සුහදව රූගත කිරීම් කළා. වතුර යට ෂූට් එකක් කරමු කියලත් යෝජනා කළේ අපි දෙන්නමයි. ඉතින් අපිට ප්‍රශ්න තිබුණේ නෑ. අකලංක විවාහයට පස්සෙ කොහොමද හැසිරෙන්න ඕන කියලා තීරණයක් අරගෙන ඉන්නවද කියන්න මම දන්නෙ නැහැ. මම නම් කියන්නේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තිය කවදාවත් පටලවා ගන්න අවශ්‍ය නෑ. මම දන්නේ නෑ අකලංක ඔය දෙක පටලවාගෙනද කියලා.

උපේක්ෂා විවාහ මංගල්‍යය ජයටම ගන්නද ප්ලෑන් කරන්නේ.

අනේ හැමෝටම නම් කියන්නේ නැහැ. ලොකු මුදලක් යන නිසා. පවුලේ කිට්ටුම අයට විතරයි කියන්නේ.

විවාහයෙන් පස්සේ උපේක්ෂාගේ වෘත්තීය ජීවිතයට මොකද වෙන්නේ?

අපි දිගටම ලංකාවේ ජීවත් වෙනවා. ඒ නිසා වෘත්තීය කටයුතුවලට බාධාවක් නැහැ. කලාවේ නියැළීම පුළුවන් කල් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

උපේක්ෂා විවාහ වෙන්න සූදානමින් සිටින කෙනා මොන වගේ කෙනෙක්ද?

මම දික්කසාද වෙච්ච කෙනෙකුත් හැටියට මට සුදුසු කෙනා කවුද කියන එක ගැන එදාට වඩා අවබෝධයක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා සුරංගනා ලෝකයක ජීවත් වෙන්න පුළුවන් විදියට හැමදේම සාර්ථක වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. එයා මට වඩා ගොඩක් වැඩිමල්. අවුරුදු 08ක 09ක පරතරයක් තියෙනවා. ඔහුගේ ජීවිතය ස්ථාවරයි. හරිම සූක්ෂ්මව ජීවිතය ගත කරන කෙනෙක් සහ ඔහු හරිම බුද්ධිමත්. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි විතරයි. ඉතින් ඔහු අපේ ජීවිතවලට ලොකු ශක්තියක්. අනිත් එක ඔහුත් විවාහ වෙලා වෙන්වුණ කෙනෙක්. ඒ නිසා විවාහය කියන්නේ මොකක්ද කියලත් ඔහු දන්නවා.

නැවත විවාහ වෙනවා කියන තීරණය ගන්න බය හිතුණේ නැද්ද?

මම ගොඩක් හිතුවා. 2011දී විතර ඉඳලම මම ඔහුව දන්නවා. මේ සම්බන්ධයට හා කියන්න කලින් මම අම්මාගේ කැමැත්ත ගත්තා. කේන්දර ගැළපෙනවද බැලුවා. ඔහුගේ පවුලේ කට්ටියත් සමඟ කතා කළා. අපේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළා. ඒ හැමදේම ගැන එකඟ වෙලා තමයි අපි තීරණයකට ආවේ.

Upeksha-Swarnamali-accident-Newsfirst seoceylon.com-upeksha_swarnamali-3

වාසනා සුරංගිකා විතානගේ